fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා භාරදීමට ලබාදී තිබු කාලය අද දහවල් 12න් අවසන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2023 12:01

පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා භාරදීමට ලබාදී තිබු කාලය අද දහවල් 12න් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා නාම යෝජනා භාරදීමට  ලබාදී තිබු කාලය අද දහවල් 12න් අවසන් වුණා.

ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ දහවල් 12න් අවසන් වන විට පිළිගත් දේශපාලන පක්ෂ 46ක් සහ ස්වාධීන කණ්ඩායම් 113ක් ඇප මුදල් තැන්පත් කළා.

දිස්ත්‍රික්ක 24ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ. අද මධ්‍යහ්න 12ට පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා භාර දීම අවසන් වීමත් සමඟ පස්වරු 1.30 දක්වා නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීමට හැකියාවක් පවතිනවා.  මැතිවරණය පැවැත්වෙන දිනයද නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කර කිරීමට නියමිතයි.

කළුතර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා භාර දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මීට එක්වුණා.

සමඟි ජනබලවේගය ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත්පාලන ආයතන තුනක් සදහා නාමයෝජනා භාර දුන්නා. ඒ සමඟි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ද නාම යෝජනා භාර දුන්නා.

ජාතික ජනබලවේගය ද කුරුණෑගල දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා භාර දුන්නා. ඒ පළාත් පාලන ආයතන 21ක් සඳහායි.එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සිදුවුණේ.

එක්සත් ජාතික පක්ෂය ද කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් සදහා නාම යෝජනා භාරදුන්නා. මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකයන එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද බොරලැස්ගමුව , කැස්බෑව යන නගරසභාවන්ට මෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට ද නාම යෝජනා භාරදුන්නා. ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ රැසක්ම මේ වන විට නාමයෝජනා භාරදී තිබෙනවා. අද දිනයේද නාම යෝජනා භාරදුන් අතර පිළිගත් දේශපාලන පක්ෂ සියල්ලම පාහේ නාම යෝජනා භාර දීමට ඉදිරිපත්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2023 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්