ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය අද දහවල් 12 න් අවසන්
Related Articles
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී තිබූ කාලය අද දහවල් 12 න් අවසන් වුණා. නාමයෝජනා භාරගැනීමේ කටයුතු ද හෙට මධ්‍යහ්න 12 න් අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
මේ අතර රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 22ක පළාත් පාලන ආයතන රැසකටම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප තැන්පත් කළා. ඒ අනුව පළාත් පාලන ආයතන 67 ක් සඳහා ඇප තැන්පත් කර තිබෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් 78 ක් ඇප තැන්පත් කළා. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ 09 ක් ඊයේ දිනය වන විට නාමයෝජනා භාරදී තිබෙනවා. ඒ පළාත් පාලන ආයතන 18 ක් සඳහායි.ස්වාධීන කණ්ඩායම් 14ක් ද ඊයේ දිනයේදී නාමයෝජනා භාරදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. නාමයෝජනා ගැනීම හෙට මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතයි.අද දිනයේත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් රැසක් නාමයෝජනා භාර දීමට මෙන්ම ඇප මුදල් තැන්පත් කිරීමට ද කටයුතු කළා. නාමයෝජනා භාරගැනීමේ කටයුතු අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ අතර රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බැවින් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ එම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මොහොතකදී පළාත් පාලන ඡන්ද විමසුම පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමිනුයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදු කළේ. කෝවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව මෙරට ආදායම 2021 වසරේදී 8.2%කින් පහත වැටුණු බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ අයවැය පරතරය 11.6%කින් ඉහළ ගියා. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව පහත මට්ටමකට වැටී ඇති නිසා ජාත්‍යන්තර වෙළෙදපොළින් අරමුදල් සම්පාදනය කර ගැනීමටද අපහසු තත්ත්වයක් පවතින බවයි සිරිවර්ධන මහතා සඳහන් කළේ. අත්‍යවශ්‍ය සේවාවන්වලට පවා මුදල් වෙන් කිරිම අපහසු වී ඇති මොහොතකදී මැතිවරණයක් සඳහා මුදල් සපයා ගැනීම දැඩි අභියෝගයක් වන බව ඔහු සිය දිවුරුම් ප්‍රකාශයෙන් පෙන්වා දී තිබෙනවා.