ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට
Related Articles
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා දෙදින නිළ සංචාරය අරඹමින් පස්වරුවේ දිවයිනට පැමිණියා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා නිළ සංචාරය ආරම්භ කරමින් මෙරටට පැමිණියේ මාලදිවයිනේ සිටයි. ඒ ඊයේ ආරම්භ කළ මාලදිවයින් නිළ සංචාරය නිමා කරමින්.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපළේ දි පිළිගනු ලැබුවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින්. ජයිශංකර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා සදහා එක්වනු ඇති.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබා ගැනීමට අපේක්ෂිත ඩොලර් බිලියන දෙකයි දශම නවයක ණය සහනය සම්බන්ධයෙන් මෙන්ම ප්‍රධාන ණයකරුවෙකු වන ඉන්දියාවේ ඉදිරි සහාය පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රාජත් කුමාර් මිශ්‍රා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමග මෙන්ම පැරිස් සමාජය හා එක්ව ණය කල් පිරීමේ කාලසීමාව දීර්ඝ කරමින් පොළී අනුපාත පහත දමමින් මධ්‍යකාලීන හා දීර්ඝකාලීන සහන වැඩසටහනකට එකගතාව පළ කරන බව එම ලිපියේ සදහන්.
සමාන ආකාරයේ සහන වැඩසටහනක් සදහා එකගතාව පළ කිරීම ශ්‍රී ලංකාවේ සෙසු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ වගකීමක් ලෙස සළකන බවයි අදාළ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුගත කරණයට ඉන්දියාව සහාය දැක්වීම සම්බන්ධයෙන් සතුට පල කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලි චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සදහා ඇමෙරිකාව ද කටයුතු කරන බවයි ඇප පවසා ඇත්තේ.