fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති යාපනය ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත්වලට එක් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2023 16:14

ජනපති යාපනය ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත්වලට එක් වෙයි

තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගිවීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) පෙරවරුවේ යාපනය ශ්‍රී නාග විහාරය වෙත ගොස් මහා සංඝරත්නය බැහැ දැක, ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

“බෞද්ධ හින්දු ආගමික සංසදය” වෙනුවෙන් එහි සභාපති ආචාර්ය එම්. මෝගන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ගරු ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා හමු වී ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2023 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්