තෛපොංගල් දිනය අදයි
Related Articles
ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව මහත් හරසරින් සමරන තෛයිපොංගල් දිනය අදයි. ශ්‍රී ලාංකික හින්දු භක්තිකයින්ද තෛයිපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීමට එක්ව සිටිනවා.
සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛයිපොංගල් උත්සවයේ විශේෂත්වයයි.ගොවිතැනින් සරු අස්වැන්නක් ලබාගැනීමට දායක වූ හිරු දෙවියන්ට සැළකීම වෙනුවෙනුයි තෛයිපොංගල් උත්සවය පැවැත්වීම සිදුවන්නේ. වසර මුලුල්ලේම කෘෂිකාර්මික කටයුතුවලට ආශිර්වාද කරන හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවෙනවා. කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන ගව මහේෂාදී සතුන්ට ද ගෞරව කිරීම තෛපොංගල් උත්සවය තවත් විශේෂත්වයක්. තෛයිපොංගල් යන වචනයේ සිංහල අරුත වන්නේ උතුරා යාම හෙවත් පිටාර ගැලීම යන්නයි. කිරි උතුරවා යාමට සළස්වමින් සියලු දෙනාට සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කිරීම තෛයිපොංගල් චාරිත්‍ර අතර මුල්තැනක් ගන්නවා. මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙසද සැලකෙනවා. .
මේ අතර සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛයිපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි සුබාසිංශන පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රාර්ථනයක් එක් කර තිබෙනවා. පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලියලත් ශ්‍රි ලංකාවේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කරමින් ස්වයං පෝෂිත රටක් ගොඩනැගීමට රජය ගන්නා උත්සහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙස මෙවර තෛයිපොංගල් උත්සය සැලකිය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. රජයේ නව ආර්ථික සහ සාමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට දායක වෙමින් ආර්ථික සමෘද්ධිය උදා කර ගත් රටක් ගොඩ නැගීමට එක්වන ලෙස සශ්‍රිකත්වයේ අපේක්ෂා පෙරදැරි කර ගත් සැමරුමක් වු මෙම තෛයිපොංගල් දිනයේ සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත්තේ.
ජාතික සංස්කෘතියේ අංගයක් බවට පත් තෛයිපොංගල් උත්සවය සාමය , එකමුතුකම හා දායාව මුලික වු සාරධර්මයන් මුර්තීමත් කිරිම මෙන්ම කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියන වර්තමානයේ ක්‍රියාවට නංවා ඇති ආහාර සුරක්ෂිතතාව හා ග්‍රාමීය පුනර්ජීවනය සදහා වන සංකල්පයට උත්තේජනයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. තෛයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිතුක් කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ස්වභාවධර්මයට අනුගතව ජිවත්වීමේ අගය විදහා දක්වන හින්දු සංස්කෘතිය අනුව අපේක්ෂාවන් ඉටුවන නව වසරක උදාව සනිටුවන් කෙරෙන තෛයිපොංගල් උත්සවය සැමරීමට එක්ව සිටින සියලුදෙනාට තම සුභ පැතුම් එක් කරන බවයි.
මේ අතර තෛයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ මිනිස් ජිවිත සොබා දහම සමඟ කටයුතු කිරිමෙහි අගය තෛයිපොංගල් උත්සවයෙන් මනාව ඔප් නැංවෙන බවයි. ජාති ආගම් , කුල භේද අමතක කොට සොබාදහමට සමීපව ජිවිතය ගත කිරිමේ වැදගත්කම තෛයිපොංගල් උත්සවයෙන් ලබාදෙන පණිවිඩය බව ද විපක්ෂ නායකවරයා එම පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා.
තෛපොංගල් දින ජාතික උත්සවය තලවකැලේ ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිලේදී පැවැත්වෙනවා. ඒ බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කෝවිල් පරිශ්‍රයට පැමිණි අමාත්‍යවරයා තෛපොංගල් විශේෂ කිරිබත සැකසීමේ කටයුතුවලට ද එක්වුණා.
මේ අතර දිවයිනේ ස්ථාන රැසකදීම තෛයිපොංගල් සැමරුම වෙනුවෙන් විශේෂ උත්සව සංවිධාන කර තිබුණා. වතුකරයේ ප්‍රධාන තෛයිපොංගල් උත්සවය හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලේයාර් කෝවිලේදි පැවැත්වුණා. බ්‍රහ්ම ශ්‍රී චන්ද්‍රානන්ද ප්‍රධාන කුරුක්කල් තුමා ආගමික කටයුතු මෙහෙයවුවා. වතුකරයේ සෑම නිවසකම පාහේ කිරි උතුරවා තෛයිපොංගල් සැමරීම සිදුවුණා.
උතුරු පළාතේ හින්දු බැතිමතුන් ද තෛයිපොංගල් සැමරුමට එක්ව සිටිනවා. වවුනියාව ,යාපනය , මන්නාරම , කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල තෛයිපොංගල් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කර තිබුණා.