fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ දේහය නිවසට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2023 18:22

රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ දේහය නිවසට

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ දේහය අවසන් ගෞරව සදහා  කළුතර බෝඹුවල ඒ මහතාගේ නිවසේ  අද පස්වරුවේ සිට තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක,බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු ආණ්ඩුකාර වරයෙකු ද වන රෙජිනෝල්ඩ් කුරේ මහතා මිය යන විට 75 වන වියේ පසුවුණා.

ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙකුව සිටි රෙජිනෝල්ඩ් කුරේ මහතා දේශපාලන වේදිකාවෙහි කැපී පෙනෙන කථිකයෙකු වුණා. ඔහු හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුව  ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස 1977 පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වුණා.  පසුව ඔහු විජයකුමාරතුංගයන් සමග මහජන පක්ෂයට එක්ව කටයුතු කළා.

ඉන්පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණ,එක්සත් ජනතා නිදහස් සන්ධානය, සමග එක්ව දේශපාලනයේ නිරතව පාර්ලිමේන්තුවට ද පිවිසියා.

ඒ මහතා ගුවන්සේවා,  සුළු අපනයන හා  බෝග ප්‍රවර්ධන යන කැබිනට් අමාත්‍ය ධුර මෙන්ම සමෘද්ධි කටයූතු, අධ්‍යාපන, අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ධුර ද හොබවා තිබෙනවා.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය දෙවරක් හෙබවූ රෙජිනෝල්ඩ් කුරේ මහතා 2016 පෙබරවාරි මස සිට උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය ද හොබවා තිබෙනවා. කලා හැකියාවන්  ද ප්‍රදර්ශනය කළ කුරේ මහතා ගීත රචයෙකු ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු සහ ගායකයෙකු වශයෙන් දක්ෂතා ප්‍රදර්ශනය කළා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2023 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්