fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථික ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග UN සහකාර මහ ලේකම්වරියගේ ඇගයීමට

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2023 22:25

ආර්ථික ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග UN සහකාර මහ ලේකම්වරියගේ ඇගයීමට

රටේ ආර්ථික ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා.  ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තහවුරු කිරීමේදි දුක්ෂර තීරණ ගැනීමට සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහ ලේකම්වරිය ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහ ලේකම් කණි විජයරාජා මහත්මිය ඇතුලු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුයේ ජනාධිපති කාර්යාලයේදියි. රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදි සහකාර මහ ලේකම්වරියගේ  ඇගයීමට ලක්වුණා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද සහකාර ලේකම්වරිය අවධාරණය කළා. ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවට යළි නැඟී සිටීමට හා රටේ ඉදිරි ගමන තහවුරු කිරීමට දුක්ෂර තීරණ ගැනීමට සිදුවන බව නියෝජ්‍ය මහ ලේකම්වරිය ඇතුලු නියෝජිත පිරිසට පිළිගැනීමට සිදුවුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුලු මෙරට දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම ජනවාර්ගික ගැටලුවට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමග සිදුකෙරෙන සාකච්ඡා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජිත පිරිස දැනුවත් කළා. ජාතික ආරක්ෂාව පිළිබදව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජාත්‍යන්තර සබඳතා පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මේ අතර 16වන බෙනඩික් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගියා. ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමිපාණන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි කතාබහක නිරත වුණා. 16 වන බෙනඩික් පාප් වහන්සේ වෙනුවෙන් සිය ශෝකය සනිටුවහන් කරමින් මෙහි තබා ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක් තැබු ජනාධිපතිවරයා උන්වහන්සේගේ ඡායා රූපයට ද ගෞරව දැක්වුවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2023 22:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්