සීතාවකට එන සංචාරකයින්ට නව සුඛෝපභෝගී දුම්රියක්
Related Articles
සීතාවක වග තුම්මෝදර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරෙන සංචාරක කලාපයට පැමිණෙන ජනතාව වෙනුවෙන් සති අන්ත සුඛෝපභෝගී දුම්රියක් ලබන 15 වනදා සිට ධාවනයට එක් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
සීතාවක වග, තුම්මෝදර, පුවක්පිටිය හා අවිස්සාවේල්ල කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක කලාපයක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය කේන්ද්‍ර කරගනිමින් එය ක්‍රියාවට නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.
මනරම් දියඇලි 4 ක්, කදුවැටි ඇතුළු ආකර්ශනීය ස්ථාන රැසක් මෙම සංචාරක කලාපයට අයත් වන අතර මේ වන විටත් විශාල පිරිසක් එම ස්ථාන නැරඹීමට පැමිණෙමින් සිටිනවා.
ලබුගම හා කලටුවාන ජලාශ, වැල් පාලම්, මෙන්ම ඓතිහාසික ස්ථාන රැසක්ද මෙම ප්‍රදේශයේ පිහිටා තිබීම සංචාරක ආකර්ශනය දිනා ගැනීමට ඉවහල් වී තිබෙනවා.
මෙම කටයුතු ක්‍රියාත්මක කෙරෙන ආකාරය හා ඉදිරි සැලසුම් පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සීතාවක උද්භිත උද්‍යාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ලබන 15 වනදා සිට සුඛෝපභෝගී සංචාරක දුම්රියක් කොළඹ කොටුව හා පුවක්පිටිය දුම්රිය ස්ථානය අතර ධාවනයට එක් කරන බවයි.
දුම්රියෙන් පැමිණෙන මගීන්ට දුම්රිය ස්ථානයේ සිට සංචාරක ස්ථාන දක්වා ගමන් කිරීමට පෞද්ගලික හා ලංගම බස් රථ සේවාවක්ද ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.