ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් 9 දෙනා සමඟ සිටි තවත් ප්‍රබල අපරාධකරුවකු ද අත්අඩංගුවට ගත් බව ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා. ඔහු ආමි අසිත නැමැත්තා බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.
ආමි අසිත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ප්‍රධානී නියෝමාල් රංගජීව මහතාට වෙඩි තැබූ සැකකරු බවටයි හඳුනාගෙන ඇත්තේ.
මෙසේ අත්අඩංගුවට පත් අපරාධ කල්ලි සාමාජිකයින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුල්කරගනිමින් දිගුකලක සිට නීතිවිරෝධී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවූවන් බව ආරක්ෂක අංශ හදුනාගෙන තිබුණා.
ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි දෙමළ සරණාගතයින් සදහා වූ විශේෂ කදවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණා.
කිඹුලාඇලේ ගුණා, ලඩියා සහ වැල්ලේ සුරංග යන සංවිධානාත්මක අපරාධකරුවන්ද ඒ අතර සිටින බව ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදීයි හඳුනාගෙන ඇත්තේ.
ගුණසේකරන් හෙවත් කිඹුලාඇලේ ගුණා, පුෂ්පරාජා නොහොත් පූකුඩුකන්නා, මෙහොමඩ් අස්මීන්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා චන්ද්‍රසේන, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග සහ තිලීපන් යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර මෙරට තවත් ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයකු බවට සැලකෙන දික්පිටිය විතානගේ අසිත නොයෙල් හෙවත් ආමි අසිත නැමැත්තා ද ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ප්‍රධානී නියෝමාල් රංගජීව මහතාට පිලියන්දලදී වෙඩි තැබූ බවට සැකකෙරෙන්නේ ආමි අසිතයි.
මෙම සැකකරුවන්ට චෝදනා 4ක් එල්ලවී ඇති අතර එල්ටීටීඊයට සහාය දැක්වීම, නිතිවිරෝධී මත්ද්‍රව්‍ය, ආයුධ ප්‍රවාහනය හුවමාරු කිරීම සහ මුදල් හුවමාරුවට නීති විරෝධී ක්‍රම භාවිත කිරීම ඒ අතර වනවා.
පාකිස්තානයේ සිටින මත්ද්‍රව්‍ය සහ අවි සැපයුම්කරුවකු වන හාෆි සලීම් නැමැත්තා සමඟ ද මොවුන් සමීප සබඳතා පවත්වන බවට ද තොරතුරු වාර්තා වී ඇතැයි ද හින්දු පුවත්පත සඳහන් කර තිබුණා.
දිල්ලි ත්‍රස්ත මර්දන නිලධාරීන් අනාවරණ කරගෙන ඇති කරුණුවලින් තහවුරු වී ඇත්තේ හාෆි සලීම් නැමැත්තා පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරමේ විශාලතම ජාලයක් පවත්වාගෙන යන බවයි.