දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ
Related Articles
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අංශ රැසක් ඔස්සේ විමර්ශන සිදුකරනවා. ඒ මහතා ගමන් කළ මාර්ගවල සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම මෙන්ම පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබෙනවා.
ෂාෆ්ටර් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ අත්පා ගැටගසා අසාධ්‍ය තත්ත්වයෙන් සිය මෝටර් රථයේ සිටියදී සොයා ගැණුනේ පසුගිය 15 වනදායි. ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වූයේ ගෙල තන්තුවකින් සිරකිරීමෙන් මරණය සිදුකර ඇති බවයි. ෂාෆ්ටර් මහතාගේ දේහය කොළඹ කුරුදුවත්ත මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත්කර තිබෙනවා. පසුගිය 15 වනදා දිනේෂ් ෂාෆ්ටර් මහතා රැස්වීමකට සහභාගිවීම සදහා නිවසින් පිටත්ව යන බව බිරිදට ප්‍රකාශ කර තිබුණා. එහෙත් ඔහුගේ ලේකම්වරයා පොලීසියට ප්‍රකාශ කර තිබුණේ රුපියල් කෝටි 144 ක ණය මුදලක් ලබාදී ඇති අයෙකු මුණගැසීමට යන බවටයි. එම ලේකම්වරයාට ෂාෆ්ටර් මහතා බොරැල්ල මොඩල් ෆාම් ප්‍රදේශයේ තමා සිටින ස්ථානය ජංගම දුරකතන ඔස්සේ යොමුකර ඇති බවට ද තොරතුරු වාර්තා වුණා. දිනේෂ් ෂාෆ්ටර් මහතා පසුගිය 15 වනදා රාත්‍රියේ සිය බිරිද සමග විදෙස් ගත වීමට ද සැළසුම්කර තිබූ බවටයි තොරතුරු හෙළිවී තිබෙන්නේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ෂාෆ්ටර් මහතා රුපියල් කෝටි 144 ක් ලබාදී ඇති ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා ද ප්‍රකාශ ලබාදුන් පුද්ගලයින් අතර වනවා. ඔහුගේ නිවසේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට ද පොලීසිය කටයුතු කළා. එමෙන්ම බොරැල්ල පොදු සුසාන භූමියේ සේවකයින්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ෂාෆ්ටර් මහතාගේ දුරකතනයේ දත්ත පරීක්ෂාව ද ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ. එමෙන්ම දුරකතන තොරතුරු වාර්තා ලබාදෙන ලෙස ද දුරකතන සමාගම්වලට නියෝග නිකුත් කර තිබෙනවා. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථයේ ඇති සාක්ෂි මෙන්ම මල්පාර නිවසේ සිට බොරැල්ල දක්වා මාර්ග ඇතුළු අවට ප්‍රදේශවල සීසීටීවී දර්ශන පරීක්ෂාව ද සිදුකෙරෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලීසිය එක්ව සීසීටීවී කැමරා දර්ශන 45 ක් පමණ පරීක්ෂා කර තිබෙනවා. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.