ශ්‍රී ලංකාවට ණය දීම ගැන චීන – IMF සාකච්ඡා සාර්ථකයි
Related Articles
ශ්‍රී ලංකාව සැම්බියාව ඇතුළු රටවල් කිහිපයක ණය සම්බන්ධයෙන් චීනය සමග ඉතා සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසනවා. රොයිටර්ස් මාධ්‍ය ආයතනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇය මේබව කියා සිටියේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා මෙන්ම ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් සහ තවත් මූල්‍ය විශේෂඥයන් කිහිප දෙනෙකු චීන බලධාරීන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළා. ඒ චීනයේ අන්හුයි ප්‍රාන්තයේදීයි. මෙම සාකච්ඡාවට චීන එක්සිම් බැංකුව, චීන මහජන බැංකුව මෙන්ම එරට මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් පිරිසක් එක්වුණා.
ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සදහන් කළේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල ණය කළමනාකරණය කිරීම සදහා පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමුවූ බවයි. මෙම සාකච්ඡාවලින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් නිදහස් කිරීමට හැකිවන බවද ඇය පෙන්වා දුන්නා.
මීට අමතරව බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් ද ශ්‍රී ලංකාව වැනි රටවලට මුදල් ලබාදීමට හැකිබවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා සදහන් කර ඇත්තේ. ගෝලීය ආර්ථික තත්ත්වයන් සමග බොහෝ රටවල් දැඩි ණය අර්බුදයකට මුහුණ දුන් බව ඇය පෙන්වා දෙනවා.
ඉදිරියේදී ණය ගෙවා දැමීම වඩා කාර්යක්ෂම කිරීමට හැකිවන පරිදී ණය ප්‍රතිව්‍යූහගත කිරීම සදහා චීනයේ සහයෝගය හිමිවනු ඇති බවද ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සදහන් කර තිබෙනවා. චීනයේ ප්‍රතිපත්ති වෙනස්වීම ඉතා ඉහළ ජයග්‍රහණයක් බවද ඇය කියා සිටියා.
චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් සදහන් කර ඇත්තේ ණය ප්‍රශ්නය විසදීම සදහා විධිමත් වැඩපිළිවෙළක් කරා යොමුවීමට තම රජය සූදානම් බවයි.