fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී පාදය වන්දනාවේදී අවිධිමත්ව කසළ බැහැර කරන්න එපා – මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2022 09:11

ශ්‍රී පාදය වන්දනාවේදී අවිධිමත්ව කසළ බැහැර කරන්න එපා – මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා යාමේදී පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු කසළ එම ප්‍රදේශයට බැහැර කිරීමෙන් වැළකී සිටින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

මධ්‍යම පරිසර අධිකාරියේදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේ දී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා මෙම ඉල්ලීම සිදුකළේය.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් මස 07 වන දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වන අතර 2023 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වේ.

සාමාන්‍යයෙන් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී පාදය කරුණා කිරීම සඳහා මෙම කාල සීමාවේදී ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරයි. ශ්‍රී පාදස්ථානය පිහිටා තිබෙන්නේ ශ්‍රී පාද අඩවි අභය භූමියෙහි ය. මෙය ඉතා සංවේදී පරිසර කළාපයකි. ශ්‍රී ලංකාවට ආවේණික ශාක වැඩී තිබෙන මෙම අභය භූමියේ ශ්‍රී ලංකාවට ආවේණික සතුන් ජීවත්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා ආරම්භවන ජල මූලාශ්‍ර ශ්‍රී පාද අඩවි අභය භූමියෙන් ආරම්භ වේ. මෙම සංවේදී පරිසර කලාපය රැකගැනීම අප සැමගේ යුතුකමක් සහ වගකීමක් වේ.

එනිසා, ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණෙන වන්දනාකරුවන් ගෙනයන පොලිතීන් ප්ලාස්ටික් ඇසුරුම් හෝ බහාලුම් භාවිත කිරීමෙන් පසු ජනනය වන කසළ මෙම සංවේදී පරිසර කළාපයට මුදා නොහරින ලෙසත්, ඒවා නැවත තම නිවෙස්වලට ගෙනයාමට හෝ ශ්‍රී පාදස්ථානයට ගමන්කළ හැකි ප්‍රධාන පිවිසුම් මාර්ගවල ආරම්භයේ (එනම් නල්ලතන්නි මාර්ගය සහ රත්නපුර දෙසින් ඇති මාර්ග දෙකෙහි) පළාත් පාලන ආයතන මගින් ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් පවත්වාගෙන යන කසළ එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත භාරදීමට හෝ කටයුතු කරන ලෙසත් සියලු වන්දනාකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

එලෙසම, ප්ලාස්ටික් ජල බෝතල් සහ බීම බෝතල් හෝ ප්ලාස්ටික් පොලිතීන් අසුරණ සහිත ආහාර බැතිමතුන් වෙත ලබාදීමට පරිත්‍යාගශීලී පිරිස් කටයුතු කරන්නේනම් එම අසුරණ එකතුකර නිසිලෙස බැහැර කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද සුපුන් එස්. පතිරගේ මහතා පැවසුවේය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුව සඳහා පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මනෝජ් පොරේරා මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ජේ. එම්. යූ. ඉන්ද්‍රරත්න මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ජයවිලාල් ප්‍රනාන්දු, ආචාර්ය සංජය රත්නායක, අජිත් වීරසුන්දර, එන්. එස්. ගමගේ යන මහත්වරු සහභාගී වූහ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2022 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්