ශ්‍රී ලංකාවට පැමිණි ජපන් මහාචාර්යවරියකගේ මුදල් පසුම්බිය කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී බිම වැටී තිබියදී , එය අහුලා , අයිතිකාරිනියට ලබා දීමට පියවර ගත් ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවිකාවක 08, 31 දින දහවල් ගුවන් තොටුපළේ දී ඇගැයීමකට ලක් විය .
හැට හැවිරිදි මටෘනුරා ජුන්කෝ ( Matrunura Junko ) ජපාන මහාචාර්යවරිය ඉකුත් 08,30 දින ශ්‍රී ලංකාවට පැමිණියේ , මෙරට දුර්ලභ පුස්කොළ ග්රන්ථයක් ජපන් භාෂාවට පරිවර්තනය කර ගෙන යාමටය .
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇය , ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීම සදහා ජංගම දුරකථන සිම්පතක් ලබා ගැනීමට , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වූ ජංගම දුරකථන සමාගමක කාර්යාලය වෙත පිවිසියාය .
මෙම ගණුදෙනුව සිදු වන අතරවාරයේ ඇයගේ මුදල් පසුම්බිය බිම වැටී තිබුණි .
ඒ අතර එම ගණුදෙනුව නිමා කළ මහාචාර්යවරිය ගුවන් තොටුපළෙන් තමන් නවාතැන් ගන්නා හෝටලය වෙත පිටත්ව ගියාය .
මේ අතරතුර ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ කාර්යයේ නියැලී සිටි රඹුක්කන පී.පී.ස්වර්ණලතා මහත්මිය මෙම මුදල් පසුම්බිය දැක , එය අහුලා වහාම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
ඒ වනවිට එම මුදල් පසුම්බිය තුළ ශ්‍රී ලංකා මුදල් රුපියල් 119,390 ක් තිබී ඇති අතර , ඒ තුළ මෙම මහාචාර්යවරිය සිම්පතක් ලබා ගත් විස්තර ඇතුළත් රිසිට් පතක් ද තිබී ඇත.
ඒ ඔස්සේ එම මහාචාර්යවරිය ඇමතූ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් , ඇයට ගුවන් තොටුපළ වෙත පැමිණ තම මුදල් පසුම්බිය ලබා ගන්නා ලෙස දැනුම් දුන්නාය .
ඒ අනුව 08,31 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ අවසර පත් නිකුත් කිරීමේ කාර්යාලය වෙත පැමිණ එම මුදල් පසුම්බිය භාර ගත් ජපන් මහාචාර්යවරිය , මෙම පසුම්බිය අහුලා භාර දුන් ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවිකා පී.පී.ස්වර්ණලතා මහත්මියට සහ ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරින්ට ත්‍යාග පිරිනමමින් ඇගැයීමකට ලක් කරමින් සිය කෘතවේදීත්වය පළ කළාය .