පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සියලු දෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේ ද එක්සත් ජාතික පක්ෂය බවත්, ඉදිරියට ද රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන්නැයි සියලුදෙනාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.
දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබු මෙම හමුවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන පළාත් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.
බෙදී සිටී කාලය දැන් අවසන් බැවින් සියලු දෙනා එක්ව රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ නොපමාව ගතයුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. අලුත් දේශපාලන න්‍යායක් සහ ශිලාචාර දේශපාලන ගමනක් රටට අවශ්‍ය බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා පැරණි දේශපාලන ක්‍රමය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන් යැයි ද පැවසීය.
බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැති බවත්, වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවත් පැවසිය.
ඓතිහාසික අනුරාධපුර පුද බිම ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරිමට කඩිනම් පියවර ගන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි කමිටුවක් පත් කරන බවත්, එම කටයුතුවලදී විදෙස් උපදේශන සේවා ලබා ගැනීමට ද අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තුමන්ත්රීවරුන් වනඑස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ෂෙහාන්සේමසිංහ, ජනාධිපතිකාර්යමණ්ඩලප්රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගලරත්නායක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, හිටපු අමාත්‍යවරුන්වන දයාගමගේ, අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ,අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන, උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක, අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.