fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බව කිසිවෙකුට පවසා නැහැ – විමල් වීරවංශ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2022 18:46

සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බව කිසිවෙකුට පවසා නැහැ – විමල් වීරවංශ

සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බව තමන් කිසිවිටෙක පවසා නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන බව තමා කිසිවෙකුට පවසා නොමැති බවයි. සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන්නේ යැයි තමන් පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික සමගි බල සන්ධානයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙම පැහැදිලි කිරීම සිදුකර තිබෙනවා. තම පක්ෂය ලබාදුන් යෝජනා සැලකිල්ලට ගන්නේ නම් ඉදිරියේ දී සැකසෙන සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය එක්වන්නේ ඒ පිළිබද මහජනයා දැනුවත් කිරීමෙන් පසුව බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබද සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගය හා තවත් පක්ෂ කිහිපයක් මෙම සතිය තුළදී ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැදීම පිළිබද සාකච්ඡා කිරීම සදහා පක්ෂ ගණනාවක සාමාජිකයින් පසුගිය දින කීපයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුනා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,  සමග ජන බලවේගය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  දෙමළ ජාතික සන්ධානය,  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලී කණ්ඩායම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් සංවිධාන ද මෙම සාකච්ඡාවලට එක්වුණා.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුකරණයට පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ඊට සහභාගී වූ සියලු පක්ෂවලට හෙට දිනයේ ලබාදෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සම්බන්ධයෙන් ස්ථාන කිහිපයක දී අදහස් පළවුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2022 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්