පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ
Related Articles
මධ්‍යම කදුකරයට ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. කාසල්රී, මාවුස්සාකැලේ, කැනියොන්, ලක්ෂපාන මෙන්ම ඉහළ කොත්මලේ ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි ඉංජිනේරුවරුන් පවසන්නේ.
නෝර්ටන් බ්‍රිජ්, විමල සුරේන්ද්‍ර ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබීම හේතුවෙන් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා. ඒ හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ.
මේ අතර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 ක් මේ වනවිට විවෘත කර තිබෙනවා. පහත් බිම්වල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි දැනුවත් කෙරෙන්නේ.
හැටන් කොළඹ, හැටන් නුවරඑළිය මෙන්ම, හැටන් බගවන්තලාව ඇතුළු මධ්‍යම කදුකරයේ මාර්ග රැසකට පස් කදු කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. කොටගල, කොමර්ෂල් ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතින අතර එම නිවසවල සිටි පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකළ බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.