fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2022 11:49

මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

උතුරේ බෞද්ධ උරුමයේ සන්ධිස්ථානයක් ලෙස හඳුන්වාදිය හැකි මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයේ චෛත්‍ය නටඹුන් ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක් ලබා දී ඇති බව විහාරාධිපති ස්වාමින් වහන්සේ පවසනවා.

මෙම විහාර සංකීර්ණය සංරක්ෂණය කරමින් නැවත ගොඩනැංවීමට එරෙහිව ප්‍රදේශයේ දමිල දේශපාලනඥයන් ඇතුළු පිරිසක් ගොනුකල නඩුවට අදාලව මෙම නියෝගය ලබා දී ඇති බවයි උන් වහන්සේ වැඩිදුරටත් පවසන්නේ.

කුරුන්දි විහාරස්ථානයේ ඉපැරණි චෛත්‍ය සංරක්ෂණය කර ප්‍රතිස්ථාපනය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මුලතිව් ආරක්ෂන සේනා මූලස්ථානය මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය ද එක්ව කටයුතු කළා. ඒ අනුව එහි ධාතු තැන්පත් කිරීමේ උත්සවය පසුගිය ජුනි 12 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද දමිල දේශපාලඥයන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් එය තාවකාලිකව නවතා දැමීමට පියවර ගැනුණා. විරෝධතාකරුවන් මෙම විහාරස්ථානයට එරෙහිව මුලතිව් අධිකරණයේ ගොනු කර තිබු නඩුව නැවත විභාගයට ගන්නා ලෙසට ද‌ මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කෙරුණා. ඊට අදාලව නඩුවාර තුනකට පසුව කරුණු සලකා බැලූ මුලතිව් මහෙස්ත්‍රාත්වරයා, මෙම විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීම් ඇතුළු නටඹුන් වහාම ඉවත් කරන ලෙස හා නැවත කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටත් නියෝග කළ බව විහාරාධිපති උතුරු පළාත් සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ ශාන්ත බෝධි ස්වාමීන් වහන්සේ පැවසුවා. කෙසේ වෙතත් අදාල මහෙස්ත්‍රාත් අධිකරණයට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් නීතිපතිවරයා වෙත කරුණු දක්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව ද විහාරාධිපති ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පවසනවා.

කල්ලාටනාග රාජ සමය දක්වා ඈත ඉතිහාසයකට උරුමකම් කියන විහාරස්ථානයක් ලෙස කුරුන්දාව ශෝක හෙවත් කුරුන්දි විහාරස්ථානය හදුනා ගැනීමට පුරාවිද්‍යා කැණීම්වල දී හැකියාව ලැබුණා. එය උතුරුකරයේ බෞද්ධ උරුමයේ ඓතිහාසික සාධක රැසක් සහිත විහාර සංකිර්ණයක් ලෙසයි සැලකෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2022 11:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්