ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා. තරගයේ පළමු දිනය නිමා වන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 24 ක් ලබා සිටිනවා.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 222 ක් රැස් කළා. මෙහිදි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 76 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු මට්ටම ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්රනාන්දුයි. දිමුත් කරුණාරත්නගේ ඉනිම එක් ලකුණකට සීමා කරමින් තරගයේ දෙවන පන්දුවාරයේ අවසන් පන්දුවේදී ඔහු දවා ගැනීමට ෂහීල් අෆ්ෆිඩි සමත් වුණා.
අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ පිටියේ රැදී සිටි ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ලකුණු මට්ටම ඉහළ නැංවීමට උත්සාහයක් දැරුවද යසීර් සාහ ලකුණු 21 කට කුසල් මෙන්ඩිස් දවා ගත්තේ එම බලාපොරොත්තු බිද දමමින්.
ඕෂධ ප්‍රනාන්දු ලකුණු 35 කට දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිමේ තවත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයෙක් වූ ඇන්ජලෝ මැතිව්ස් යසීර් සාහ ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබනා දැවී ගියා. ඒ වන විට අසරණව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් පීඩනයට ලක්කරමින්. අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම යම්තාක් දුරට ගොඩනැංවීමට සමත් වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චන්දිමාල් ලකුණු 76 ක් රැස් කළ අතර ඊට හතරේ පහර දහයක් හා එක් හයේ පහරක් ඇතුළත්. අටවෙනි කඩුල්ල වෙනුවෙන් චන්දිමාල සමග එක් වූ මහේෂ් තීක්ෂණ ලකුණු 38 ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම දෙවන ලකුණුලාභියා බවට පත් වෙමින්. පන්දු යැවීමේදී ශෂීන් අෆ්ෆිඩි කඩුලු 4 ක් බිද හෙලුවා.