රුසියානු එරෝෆ්ලොට් ගුවන්යානය සම්බන්ධ නඩුව විභාගයට නොගෙන ප්රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිබද නියෝගය ලබන 15 වනදා ප්රකාශයට පත් කරන බව කොළඹ වානිජ මහාධිකරණය අද නිවේදනය කළා.
එරෝෆ්ලොට් ගුවන්යානය මෙරටින් පිටව යාම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ නඩුව අද කැදවනු ලැබුවේ වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා ඉදිරියේයි. නඩුවට අදාළ අතුරු තහනම් නියෝගය පිළිබද ඉල්ලීම් සම්බන්ධයෙන් විභාගය පැවැත්වීමට නියමිතව තිබුණා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ නඩුවට අදාළ අතුරු තහනම් නියෝගය පිළිබද ඉල්ලීම ඉල්ලා අස් කරගන්නා බවයි. ඒ අනුව අතුරු තහනම් ඉල්ලීම පිළිබද අයදුම්පත නිශ්ප්රභ කරන ලෙස විනිසුරුවරයා නියෝග කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම නඩුව විභාගයට නොගෙන නිශ්ප්රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පෙත්සම්කාර පාර්ශ්වය ඊට විරෝධය පල කළා. රුසියාව හා ශ්රී ලංකාව අතර පවත්නා ගිවිසුම්වලට අනුව මෙවැනි වාරණ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ද අතිරේක සොලිසසිටර් ජෙනරාල්වරයා ප්රකාශ කළා. වගඋත්තරකාර පාර්ශ්වය නඩුව නිශ්ප්රභ කරන ලෙස කර ඇති ඉල්ලීම පිළිබද නියෝගය ලබන 15 වනදා ප්රකාශයට පත් කරන බවයි අධිකරණය මෙහිදී දැනුම් දුන්නේ.