සමාජ ක්රියාකාරිකයෙකු වූ ඩෑන් ප්රියසාද් යන අයගේ ඇප ඉල්ලීම කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද ප්රතික්ෂේප කළා.
පසුගිය මැයි 9 වනදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය අසළ උද්ඝෝෂණයේ යෙදී සිටි අයට පහර දීමේ සිද්ධියට අදාළව ඇප ලබා වෙනත් නඩුවක ඇප අවලංගු කර සිටින ඩෑන් ප්රියසාද් සම්බන්ධ ඇප ඉල්ලීම අද ප්රතික්ෂේප කෙරුණා.
ඒ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතීඥවරුන්ගෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි. සැකකරුට ඇප ලබාදීම සලකා බැලීමට නම් පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ පෙනී සිටිය යුතු බවයි මහේස්ත්රාත්වරයා පැවසුවේ.
ඒ අනුව එම පාර්ශ්වයට ලබන 7 වනදා පෙනී සිටින ලෙස ලියාපදිංචි තැපෑලෙන් නොතීසි නිකුත් කරන ලෙස නියෝග කෙරුණා. ඔහුට ඇප ලබාදීම සම්බන්ධ නියෝගය ලබන 7 වනදා ප්රකාශ කිරීමට නියමිතයි.