පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත් කළ කොමිසමේ නිර්දේශ වලට අනුව ඊට වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.
කාදිනල් හිමිපාණන් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ආරච්චි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරි සිසිර කුමාර හා ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද නවරත්න යන මහත්වරුන් නම් කර තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් දෙසිය හැත්තෑ එක් දෙනෙකු මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරීක්ෂණ කොමිසමක් පත් කළා.
එහි අවසන් වාර්තාව පසුගිය වසරේ ජනවාරි 31 වනදා වත්මන් ජනපතිට භාර දුන් බවයි කාදිනල් හිමියන් අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ. එහි අවසන් නිර්දේශවලට අනුව බුද්ධි අංශය පොලිසිය ඇතුළු ඉහළ නිලධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන් පාස්කු ප්‍රහාරය ඇති වූ බවත් ඊට වගකිවයුතු උසස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නියම කර ඇති බවත් පෙත්සමේ සදහන්.
කොමිසම සිදු කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්වරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.