රට තුළ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ සංවිධානාත්මක ඉන්ධන ජාවාරමක් ක්‍රියාත්මක විම හේතුවෙන් අසීමිත ඉන්ධන පරිභෝජනයක් නිර්මාණය වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශ්වසනීය ආරංචි මාර්ග පවසනවා.
අර්බුදය නිර්මාණය වීමට පෙර මෙරට සාමාන්‍ය දෛනික පෙට්‍රල් ඉල්ලුම පැවතියේ මෙට්‍රික් ටොන් 3500 ක්, ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 6500 ක්, භූමිතෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 700 ක් ලෙසයි. එහෙත් මේ වන විට එම ඉල්ලුම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මෙම ඉන්ධන මාෆියාව උග්‍ර වී ඇත්තේ බොහෝ ත්‍රීරෝද රථ, කාර්, වෑන් ආදිය ඉන්ධන එකතු කිරීමේ කාර්යයක නිරත වී ඇති පසුබිමක බව අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් මේ වන විට වෙළෙදපොළේ පවා ටැංකියෙන් ඉන්ධන පිටතට ගන්නා බටවර්ගවල හිගයක්ද පවතින්නේ මෙම වාතාවරණය හේතුවෙනුයි.
බොහෝ කාර් රථවලින් මෙලෙස බට යොදා ගනිමින් ඉන්ධන ඉවතට ගැනීමට නොහැකි බැවින් ඒ සදහා විශේෂ පුහුණුවක් සහිත පුද්ගලයින් ඉන්ධන පිරවුම්හල් අසල මේ දිනවල ගැවසෙන ආකාරයක්ද දැකගත හැකියි. ඔවුන් එක් මෝටර් රථයකින් ඉන්ධන ඉවතට ගැනීම සදහා රුපියල් 500 ක පමණ මුදලක් අය කරනවා.
කෑන් හා බූලිවල මිල ගණන්ද එකවරම ඉහළ ගියා. එමෙන්ම ඒවායේ හිගයක්ද මේ වන විට පවතින බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ. ඇතැම් ජාවාරම්කරුවන් වාහනවල ඉන්ධන ටැංකිවලින් ලබා ගත් ඩීසල්හෝ පෙට්‍රල් ලීටරයක් රුපියල් දහසකට ආසන්න මුදලකට අලෙවි කරන තත්ත්වයක්ද මතුව තිබෙනවා. එමෙන්ම ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පාතාල ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව පසුගිය දින කිහිපයේ ඇති වූ සිදුවීම්වලින් වාර්තා වනවා.