කන්දකාඩු ගොවිපොළ වගාව සඳහා යොදා ගැනීමට තීරණය කෙරේ
Related Articles
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව කන්දකාඩු ගොවිපොළ මුළුමනින්ම ඉදිරි මහ කන්නය තුළ වගාව සඳහා යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කන්දකාඩු ගොවිපොළේ හෙක්ටෙයාර් 1215ක් ශ්‍රී ලංකා යුධ හමුදාවටත්, තවත් අක්කර 500ක් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවටත් ලබා දීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
මේ සම්බන්ධ සාකච්ඡාවක් අද පෙරවරුවේ සියලුම පාර්ශ්වයන්හි සහභාගිත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
ඒහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඉදිරි කාලය තුළ මුහුණපාන ආර්ථික අර්බුදය මෙන්ම ආහාර හිඟය තුරන් කරලීම සඳහා සෑම ඉඩමක්ම වගා කිරීමට රජය ගත් තීරණය මත කන්දකාඩු ගොවිපොළේ අක්කර 11,000කින් සමන්විත සියලු ඉඩම් වගා කිරීමට කටයුතු යොදන බව කියා සිටියා.
යුධ හමුදාව හා පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ඉඩම්වල බඩඉරිගු හා කිරිගව පාලනය සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීමට ඉළක්ක වී තිබෙනවා.
ජාතික සිවිල් ආරක්ෂක බලකාය සඳහා ලාහුගල ප්‍රදේශයේ ඇති වන සංරක්ෂණ කලාප යටතේ පවතින ඉඩම් අක්කර 250ක් වී වගාව සඳහා ලබා දීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
මෙහිදී මාධ්‍යයට විශේෂයෙන් අදහස් පළ අමාත්‍යවරයා යල කන්නයේ අස්වනු නෙළීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ලබා දීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් පියවර ගන්නා බවත්, ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට වෙන් කළ දිවයින පුරා පිහිටි ඉන්ධනහල් 247ක් මගින් යල කන්නයේ අස්වනු නෙළීම සඳහා යන්ත්‍රවලට යොදා ගන්නා ඉන්ධන ලබා දීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බවත් පැවසුවා.