සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා පවසයි.
ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරුනා.
ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබේ. ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව පැවසූවා.
අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වෙමින් ඉන්දීය රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරයි. ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයටත් ජනතාවටත් පිරිනමන බව ජනාධිපතිතුමා දූත පිරිසට කියා සිටියා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ. දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද දූත පිරිස විශ්වාසය පළ කළා.
ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත් , ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන් , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ , නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් , ඉන්දීය සාගරික කලාප ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියා