fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව ජනපතිට

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 13:15

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව ජනපතිට

 ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් අද (22) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ.

රේගුව සම්බන්ධයෙන් එල්ල වන විවිධ චෝදනා හා සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතාවයන් පිළිබඳ විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම සඳහා 2021 පෙබරවාරි මස 24 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සය පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරනු ලැබීය.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන (වර්තමාන මුදල් ලේකම්), ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළෙඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයෝ වූහ.

රේගු නිලධාරීන්, රේගු වෘත්තීය සමිති, රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්, සේවාලාභීන්, ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් කොමිසම වසරකට ආසන්න කාලයක් තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව නිර්දේශ 117කින් හා පිටු 530කින් සමන්විත අවසන් වාර්තාව සකස් කර තිබේ.

වගකීම් ඉටු කිරීමේ දී ශ්‍රී ලංකා රේගුවෙහි ආයතනික, පරිපාලනමය සහ මෙහෙයුම් ක්‍රියාවලිය ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අදාළ නිර්දේශ වාර්තාවේ ඇතුළත් වේ.

වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

කොමිසමේ සාමාජිකයන් වන අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හා රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත්, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මහේෂ් විතාරණ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 13:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්