දශක තුනකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඓතිහාසික වාර්තාවක්
Related Articles
දශක තුනකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික වාර්තාවක් තබමින් ඕස්ට්‍රේලියාවට එරෙහි එක් දින ක්‍රිකට් තරඟාවලියෙන් තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත් වුණා.
ඕස්ට්‍රේලියාවට එරෙහි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව්වන එක්දන ක්‍රිකට් තරගයෙන් ලකුණු 04 ක තියුණු ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රියේ හැකි වුණා. මෙම ජයත් සමග තරග 03ට එකක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනිමින් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ශ්‍රී ලංකාව ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණය වසර 30 කට පසු මෙරටදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව ලැබූ පළමු එක්දින තරගාවලිය ලෙසයි ඉතිහාස ගත වන්නේ. අවසන් වරට ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාව එක්දින තරගාවලියකින් පරාජයට පත් කළේ 1992 වසරේදීයි. එවර තරග දෙකට එකක් ලෙස ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබුණා. එදා ජයග්‍රාහී කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ අර්ජුන රණතුංගයි.
මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ 259 ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 50 තුලදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 254 ක් පමණයි. තරගයේ ජය එක් අවස්ථාවකදී සම්පූර්ණයෙන් ඕස්ට්‍රේලියාව දෙසට හරවා දීමට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමත් වුණා. එහෙත් ඔහු ලකුනු 99 ක් රැස් කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේ ධනංජය සිල්වාගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුවීමෙනුයි. කෙසේ වෙතත් සමස්ත ක්‍රීඩා ලෝලින්ම අමන්දානන්දයට පත් කරමින් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.