fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මයිනා ගෝ ගම යයි – නෝ ඩීල් ගම එයි

ITN News Editor
By ITN News Editor මැයි 13, 2022 19:00

මයිනා ගෝ ගම යයි – නෝ ඩීල් ගම එයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති මයිනා ගෝ ගම ඉවත් කිරිමෙන් පසු එම ස්ථානයේ නෝ ඩීල් ගම යනුවෙන් නව ගම්මානයක් උද්ඝෝෂකයන් ආරම්භ කළා.

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති මයිනා ගෝ ගම ඉවත් කර නැවත එම ස්ථානය අලුත් ගම්මානයක් නම් කිරීමට උද්ඝෝෂකයන් ක්‍රියාකළා. නෝ ඩීල් ගම යනුවෙන් එය නම්කර තිබෙනවා. රාජපක්ෂ පාලනය අවසන් කළයුතු බවත් නව අග්‍රාමාත්‍යවරයාට එක හෙලා විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් උද්ඝෝෂකයන් මෙහිදී කියාසිටියා.

අග්‍රාමාත්‍යවරයා පත්කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තට අනුව බැවින් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම තනතුරෙන් ඉවත් කළයුතු බවයි ගෝල්ෆේස් අරගල භූමියේ පැවැති මාධ්‍ය හමුවකදි අරගලකරුවන් ප්‍රකාශ කළේ.

ගාලුමුවදොර විරෝධතාකරුවන්ට සහාය වීම සදහා අද දිනයේ ද විවිධ පිරිස් අරගල  භූමියට පැමිණියා. ඔවුන් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් විරෝධය දැක්වුවා. 35 වන දිනටත් අද ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙනවා. මෙම අරගල භූමියට පසුගියදා සිදුවූ පහරදීම පිළිබද පරීක්ෂණ සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උද්ඝෝෂණ භූමියට පැමිණියා. වැසිබර කාලගුණ තත්වය හමුවේ වුවද විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වනවා.

ගෝඨා ගෝ ගම සාමකාමී අරගලය නීතිවිරෝධී ලෙස විසුරුවා හැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණුකළ  මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන 31 වනදා සිදුකිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. අරගලයේ නියුතු සිවිල් ඉංජිනේරුවරයෙකු වන එම් එන් එන් හමීම් මෙම නඩුව ගොණුකර තිබෙනවා. මෙහි වගඋත්තරකරුවන් වන්නේ පොලිස්පතිවරයා, යුධ හමුදාපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා හා නීතීපතිවරයායි.

අරලියගහ මන්දිරය අසළ උද්ඝෝෂණයේ නිරත පිරිසට බාධා කිරීමෙන් නවත්වන්නැයි ඉල්ලමින් ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසකට එරෙහිවයි මෙම නඩුව ගොනුකර තිබෙන්නේ. පෙත්සමේ කරුණු තහවුරු කිරිමට නඩුව ජුලි මස 22 වනදා කැදවන ලෙසට අධිකරණය නියෝග කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 13, 2022 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්