තෙල් ලැබුණත් ෂෙඩ් ළග තවමත් පෝළිම්
Related Articles
අද උදෑසන වනවිට බොහෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන තොග ලැබී තිබුණා. කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනීමට ජනතාව තවමත් දිගු පෝලිම්වල රැදී සිටිනවා.
මේ අතර අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ අයිඕසී හෝ සිපෙට්කෝ මිල ඉහළ නැංවීමක් පිළිබද හුවමාරුවන පණිවුඩ අසත්‍ය බවයි. පැය 10 ක විදුලි කප්පාදුවක් සිදුවන බවට වන ප්‍රචාර ද අසත්‍ය බව විදුලිබල මණ්ඩලය තහවුරු කළා.
ප්‍රමාණවත් තොග ඉන්ධන පිරවුම්හල් වෙත නොලැබීම හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට ජනතාවට දිගු වේලාවක් රැදී සිටීමට සිදුව තිබෙනවා. දිවයින පුරා සෑම පිරවුම්හලකටම ඉන්ධන රැගත් බවුසර් කොළොන්නාව නිමාවෙන් පිටත්ව ගොස් ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. එහෙත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලට තොග ලැබුණ ද තවමත් ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් වෙත ඉන්ධන තොග ලැබී නැති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ඉනධන ලබාදෙන ලෙස ඉල්ලා ජනතාව ස්ථාන කිහිපයක දී උද්ඝෝෂණ සිදුකළා.
ග්‍රෑන්ඩ්පාස් ස්ටෙස්පාර අවහිර කරමින් ජනතාව විරෝධතාවක නිරත වුණේ භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලමින්. ඒ හේතුවෙන් ගමනාගමනයට ද බාධා එල්ලවුණා. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මැදිහත්ව භූමිතෙල් ලබාදීමට පොරොන්දු වීමත් සමගම විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් වුණා.
වව්නියාව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය තරම් තොග ලැබීම හේතුවෙන් ගැටලුවකින් තොරව ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරුණා.
මේ අතර ඉන්ධන මෙට්‍රික් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාවක් හෙට මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර ගෘහස්ථ ගෑස් ලබාගැනීමට ද ජනතාවට දිගු පෝලිම්වල රැදී සිටීමට සිදුව තිබෙනවා. ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් ආමර් වීථිය ප්‍රදේශයෙන් මාර්ගය හරස් කරමින් ඊයේ ආරම්භ කළ විරෝධතාව මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය ද සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.
හයිලෙවල් මාර්ගය නාවින්න ප්‍රදේශයෙන් අවහිර කරමින්ද ජනතාව උද්ඝෝෂණයක නිරතව සිටින්නේ ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින්. එම ප්‍රදේශයෙන් මාර්ගය තාවකාලිකව වසා තැබීමට ද පොලීසිය කටයුතු කළා.
මේ අතර පැය 10 ක විදුලි කප්පාදුවක් සිදුවන බවට පළවන ප්‍රචාර අසත්‍ය බව විදුලිබල මණ්ඩලය පවසනවා. අද දිනයේත් පැය 3 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.