ගෘහස්ත ගෑස් වහාම ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ මීගමුව ප්රධාන මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවක නිරතවීම හේතුවෙන් ගමනාගමනය බාධා එල්ලවුණා. අද දිනයේ ගෑස් ලබා දෙන බවට ලබාදුන් පොරොන්දුවත් සමඟ ජනතාව මාර්ගයෙන් ඉවත්කර රථවාහන ධාවනයට ඉඩ සලසා දීමට පොලිසිය පියවර ගත්තා. කෙසේ වෙතත් ජනතාව සිය විරෝධය පළකරමින් එම ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනවා.
වෙළෙඳපොලේ ගෑස් නොමැතිවීම හේතුවෙන් බොහෝ වෙළෙඳසැල් ආශ්රිතව දිගු පෝලිම් දක්නට ලැබෙනවා. කොළඹ මීගමුව ප්රධාන මාර්ගය අවහිර කරමින් ජනතාව ඉල්ලා සිටියේ වහාම ගෘහස්ත ගෑස් ලබා දෙන ලෙසයි. මහබාගේ මංසන්ධිය අසලින් මාර්ගය හරස්කොට ජනතාව විරෝධතාවයේ නිරතව සිටිනවා.
මේ අතර ඉන්ධන පිරවුම් හල් ආශ්රිතවද අද උදෑසන වන විට දිගු පෝලිම් පැවතුණා. බොහෝ ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැති බවට දැන්වීම් පළකර තිබුණා. ඉන්ධන රථවාහන ධාවන ටැංකිවලට හැර බැරල් සහ බූලිවලට නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ පියවර ගත්තා. එමෙන්ම එක් පාරිභෝගිකයෙකු භූමිතෙල් නිකුත් කිරීමේදී දිනකට ලබාගත හැකි උපරිමය වන්නේ ලීටර් 5ක් පමණයි. ඉන්ධන ප්රමිතිය පිළිබඳ ඊයේ පස්වරුවේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කොළොන්නාව නිමාවෙන් ඉන්ධන බෙදා හැරීම ඊයේ දිනයේ තාවකාලිකව සීමා කෙරුණද අද උදෑසන සිට යළි බෙදාහැරීම් කටයුතු සුපුරුදු පරිදී සිදු කෙරෙනවා.
මෙවර එළඹෙන කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද අලුයම සිට ජනතාව එප්පාවල ඉන්ධන පිරවුම්හල අසළ රැදී සිටියා. අවසරපත්රවලට ඩීසල් කෑන්වලට නිකුත් කිරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.
කළුතර මග්ගොන ඉන්ධන පිරවුම්හල අසලද ඉන්ධන ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියා. එම ඉන්ධන පිරවුම්හල රාත්රී 11.30ට පමණ වසා දැමීමට කටයුතු කිරීමත් සමග ජනතාව සහ කළමනාකාරීත්වය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුණා. එම ගැටුම පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අඛණ්ඩව ඉන්ධන ලබා දීමට කටයුතු කෙරුණා.
වාද්දුව මොල්ලිගොඩ ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන සඟවා ඇති බවට එම පිරවුම්හල අසළ රැඳී සිටි ජනතාව චෝදනා කළා. ඒ හේතුවෙන් වාද්දුව පොලිසිය කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර ඉන්ධන භූගත ටැංකි පරික්ෂා කළා. එම ටැංකිවල ඉන්ධන තොග පවතින බවට තහවුරු වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.