ගාලුමුවදොර විරෝධතාව මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකදී අද දිනයේත් විරෝධතා පැවැත්වෙනවා.
ඉහළ යන ජීවන වියදම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ගාලුමුවදොර විරෝධතාව 24 වන දිනටත් අද පැවැත්වෙනවා. කූඩාරම් සකස් කර ගනිමින් තවමත් පිරිස් එම ස්ථානයේ රැදී සිටිනවා. නිර්පාක්ෂික අරගලය ලෙස නම් කර ඇති මෙම විරෝධතා භූමිය තුළ විවිධ වැඩසටහන් ද සංවිධානකර තිබෙනවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණය ද 7 වන දිනටත් අද පැවැත්වෙනවා. ඊයේ දිනයේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගත්ත ද පස්වරුව වන විට ඔවුන් යළි එම ස්ථානයේ අට්ටාල සකස් කරමින් විරෝධතාව ආරම්භ කළා. උපවාසයක් ආරම්භ කර ඇති තරුණයෙකු ප්‍රකාශ කළේ පොලිස් බස් රථ සහ පොලිස් ලොරි රථ එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා තුරු උපවාසය සිදුකරන බවයි.
මේ අතර හොරණ ප්‍රදේශයේ විද්වත් වෘත්තිකයින් වෙළෙද ප්‍රජාව හා තරුණ තරුණියන් එක්ව විරෝධතාවක් පැවැත්වූවා. වීථි නාට්‍ය මෙන්ම විවිධ පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව පැවැත්වුණා.
මීගමුව නගරයේ ද විරෝධතාවක් පැවැත්වුණු අතර එය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීරිගම සංවිධායිකා සුනේත්‍රා සමරකෝන් මහත්මියයි.