ලොවපුරා කිතුණු බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් සමරන පාස්කු ඉරුදින සැමරුම අදට යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථානය ලැබීම සිහිපත් කරමිනුයි එම බැතිමතුන් පාස්කු ඉරිදාව සමරන්නේ.
පාස්කු දිනය හෙවත් ඊස්ටර් ලෙසින් හදුන්වන මෙම දිනය ලොවපුරා කිතුණු බැතිමතුන් සලකන්නේ ඔවුන්ගේ ප්‍රධානතම මංගල්‍යය ලෙසයි. අලු බදාදා දිනයේ සිට දින 40 ක කාලයක් යාඥාව, භාවනාව, උපවාස ශීලය මෙන්ම විවිධ පුන්යක්රියාවන්ට මුල්තැනක් දෙමින් ගතකරන කිතුණු බැතිමතුන් මහ සිකුරාදා දිනයේදී ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත දිවිපිදීම සිහිපත් කරනවා. උන්වහන්සේ මරණයෙන් උත්ථානය ලැබීම කිතුණු බැතිමතුන් සමරන්නේ පාස්කු ඉරිදාවේදීයි.
පාස්කු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරන්නේ පරිත්‍යාගශීලී ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්ය හා ශක්තිය ජීවියට ළගාකර ගත හැකි ආධ්‍යාත්මික මාර්ගය මෙනෙහි කිරීමට අද වැනි දිනයක් සියලුදෙනාට එකසේ වැදගත් බවයි. සමාජයීය හා සදාචාර සම්පන්න පැවැත්ම විනාශ කරන, සමාජය අදුරුගන්වන නපුරු බලවේග පලවා හැරීමට පාස්කුව සහනාලෝකයක් වන බව ද කිතුණු බැතිමතුන් සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවායි ද අග්‍රාමාත්‍යවරයාගේ පාස්කු දින පණිවුඩයේ දැක්වෙනවා.
මෙරට පාස්කු දින ප්‍රධාන දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්වුනේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන්. දෙව්මැදුරේ ප්‍රධාන පියතුමන් වන රොනී වික්‍රමසිංහ පියතුමන්ගේ මූලිකත්වයෙන් එය සංවිධාන කෙරුණා. කිතුණු බැතිමතුන් විශාල පිරිසක් එම දේව මෙහෙයට එක්ව සිටියා.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය අද උදෑසන පැවැත්වුණේ ජෝයි මරියරත්නම් පියතුමන්ගේ මූලිකත්වයෙන්.
දේව මෙහෙය අවසානයේදී 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව සිහිපත් කරමින් දේවස්ථානයේ විශේෂ සමරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර සිදුකිරිමට ද කටයුතු කෙරුණා.
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේදී ද පාස්කු ඉරුදින දේව මෙහෙයක් පැවැත්වුණා. වසර තුනකට පසුව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිළිරුව රැගත් පෙරහරක් ගම වටා සංචාරය කර නැවත දේවස්ථානය කරා රැගෙන ඒමට ද කටයුතු කෙරුණු අතර එම අවස්ථාවට බැතිමතුන් විශාල පිරිසක් එක්වුණා.
2019 වසරේ පාස්කු ඉරිදා දිනය යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදා වූ අතර එදින මුළු මහත් ලෝකයම කම්පාවට පත්කරමින් අපේ රටේ දේවස්ථාන තුනක බෝම්බ පිපිරී ගියේ පාස්කු දේව මෙහෙයට ඒ වනවිටත් එක්ව සිටි අහිංසක කිතුණු බැතිමතුන් විශාල පිරිසකට දිවි අහිමි කරමින් සහ තවත් බොහෝ පිරිසක් ආබාධ සහිතවූවන් බවට පත්කරමින්. එම කටුක මතකයන් මතින් යළිත් නැගීසිටි ජනතාව බාධක රැසක් මැද වුවද මෙවර පාස්කු ඉරිදා දිනය ගෞරවයෙන් සමරමින් තම ආධ්‍යාත්මයන් ආලෝකවත් කරගැනීමට එක්වුණා.