තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම මැයි 19 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් ගත් තරුණයෙකු අනතුරට ලක් කර බරපතළ තුවාල සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැදවනු ලැබුවා. රිය අනතුර පිළිබද පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු සිදු කළ විමර්ශනයට අදාළ වාර්තා හතරක් මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බව පාඨලී චම්පික රණවක මහතා පෙත්සමේ සදහන් කර තිබෙනවා. එසේ තිබියදී නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කිරීම නීතියට පටහැනි බවයි ඔහු සිය පෙත්සමෙන් සදහන් කර තිබෙන්නේ.