පුටින්ට බලයේ සිටීමට කිසිඳු අයිතියක් නැහැ – ජෝ බයිඩන්
Related Articles
රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට බලයේ සිටීමට කිසිඳු අයිතියක් නැති බවට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පෝලන්තයේ දී සිදුකළ ප්‍රකාශය මේ වනවිට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පෝලන්තයේ වෝල්සෝ නුවරදී මෙම ප්‍රකාශය සිදුකළේ රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම මුල්කර ගනිමින්. එම ප්‍රකාශය සිදුකිරීමෙන් පසුව ඊට ප්‍රතිචාර දැක්වූ ක්‍රේම්ලින් මන්දිරය කියාසිටියේ රුසියා ජනාධිපතිවරයා තෝරා ගැනීම ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ කාර්යයක් නොවන බවයි. එය රුසියා ජනතාව විසින් සිදුකරන්නක් බවත් ක්‍රෙම්ලින් මන්දිරය වැඩිදුරටත් කියාසිටියා. ධවල මන්දිරය ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ අතර එහි සඳහන් වන්නේ ඇමෙරිකා ජනාධිපති කළ ප්‍රකාශයෙන් රුසියා ආණ්ඩුවේ වෙනසක් සිදුවිය යුතු බවට අදහස් නොකළ බවයි. අසල්වැසි රටවලට එරෙහිව බලය පැතිරවීමට රුසියා ජනාධිපති වැලැඩිමීර් පුටින්ට අයිතියක් නොමැති බවට එම ප්‍රකාශයේ අදහස වූ බවයි ධවල මන්දිරය වැඩිදුරටත් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් ඇමෙරිකා ජනාධිපතිවරයා පෝලන්තයේ සංචාරය කිරීමෙන් පසු ලිවිව් නගරයේ ස්ථාන රැසකට රුසියා හමුදා ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලිවිව් නගරය යුක්රේනයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ජනතාවට ආරක්ෂිත කදවුරු සහිත ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.
කෙසේ වෙතත් ඇමරිකා ජනාධිපතිවරයාගේ පෝලන්ත සංචාරය සහ ඔහුගේ ප්‍රකාශයට විරෝධය පළකරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි පෙන්වා දෙන්නේ. පෝලන්ත දේශසීමාවට කිලෝමීටර 80 ක් දුරිනුයි ලිවීව් නගරය පිහිටා තිබෙන්නේ.
මේ අතර කියෙව් නගරයේ නිවාසවල සිටින ජනතාවගේ මානසික මට්ටම ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් එරට හමුදා අංශ ගීත ගායනා කරන අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.