සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 220වැන්න මැදින් පුර පසළොස්වක පොහොය යෙදෙන අද (17) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
බුදුන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම් පූජා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ධර්ම දේශනාව සඳහා වැඩම කළ මාතලේ රෑනකෙටූගල ආරණ්‍ය සේනාසනය, අනුරාධපුරය කටුකැලියාවආරණ්ය සේනාසනයහා රුවන්වැල්ලධම්මදායාද ආරණ්‍ය සේනාසනය යන ආරණ්‍ය සේනාසනාත්රයාධිපති ගෞරවාර්හ අලව්වේ අනෝමදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කළාය.
ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.
ධර්ම දේශනාව අවසානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දේශකයාණන් වහන්සේට අෂ්ඨපරිෂ්කාර සහ පිරිකර පූජා කරන ලදි.
මේ අතර ජනතාවට නොමිලයේ බෙදා හැරීමට නියමිත දේශකයාණන් වහන්සේ විසින් රචිත “සක්කාය දිට්ඨිය ප්රහාණය”නමැති ග්‍රන්ථයේ මුල් පිටපත උන්වහන්සේ විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් අනුරාධපුරයේ සිට වැඩම කොට කොළඹ අරලියගහ මන්දිරයේ රෝපණය කරනු ලැබුවේ 2005 වසරේ අද වැනි පුරපසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයකි.
මෙම පුණ්‍යකටයුත්තට වසර 17ක් ගතවීම සිහිකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය අරලියගහ මන්දිරයේ පිහිටි බෝධීන් වහන්සේ අභියස දී අද දින විශේෂ ආගමික වතාවත්වල නිරත වූහ.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය,කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පළාත් පාලන ආයතනවල නියෝජිතයින්,කලාකරුවන්, හෙද නිලධාරීන්, දහම් පාසල් ගුරුවරු, පෙර පාසල් පාලිකාවන් සහ කාන්තා සංවිධාන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.