ලෝක කුසලානය දිනා අදට වසර 26යි
Related Articles
අදට වසර 26 කට පෙර අපේ රටේ ඉතිහාසයේ අමතකම නොවන දවසක් වුණා. මෙරට ක්‍රිකට් ලෝලීන්ට පමණක් නොව සමස්ත රටවැසියාටම තමාගේ රට ගැන මහත් අභිමානයක් ඇති වූ දිනයක් ලෙසටයි අද දිනය සැළකෙන්නේ.
අපි ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේ මීට අවුරුදු 26 කට පෙර අද වැනි දිනකයි.
පාකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ 06 වන ක්‍රිකට් ලෝක කුසලානයයි. පාකිස්ථානය සහ ඉන්දීයාව සත්කාරකත්වය දැක්වූ දෙවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාලිය බවට එය පත් වුණා. ශ්‍රී ලංකාවද මෙම තරගාවලියේදී සත්කාරක රටක් බවට පත් වූ අතර ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියක් සදහා සත්කාරකත්වය දැක් වූ පළමු අවස්ථාව එයයි. ඕස්ට්‍රේලියා කණ්ඩායම ඒ වන විට ලෝක කුසලාන අවසන් තරග 03 ක් සදහා තරග කර තිබූ අතර 1987 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. 1996 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අර්ජුන රණතුංග මෙහෙය වූ අතර අවසන් තරගයේදී කාසියේ වාසිය දිනාගනිමින් ඕස්ට්‍රේලියාවට පන්දුවට පහරදීම සදහා ඇරයුම් කළා. එහිදී නායක මාර්ක් ටේලර් සහ රිකී පොන්ටින් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ඉතා සාර්ථක ඉනිමක් ගොඩනැගූ අතර එක් කඩුල්ලක් සදහා ලකුණු 137 ක් ලබා ගනිමින් ඉතා ශක්තිමත් ඉනිමක් ආරම්භයේදී ගොඩනැගීමට සමත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ගේ බලඇණිය හමුවේ ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් ලකුණු 170 කට කඩුළු 05 ක් බිද වැටෙන මට්ටමට පත් වුණා. නියමිත පන්දුවාර 50 අවසානයේදී ඕස්ට්‍රේලියාවට රැස්කර ගැනීමට හැකිවුණේ කඩුළු 07 ක් දැවී ලකුණු 241 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයන් දෙදෙනාම ලකුණු 30 ක් ලබාගැනීමට පෙර දැවී ගියද මැද පෙල ක්‍රීඩකයින්ගේ සාර්ථකත්වය නිසා පන්දුවාර 45 ක් තුළ විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107 ක් සහ අසංක ගුරුසිංහ ලකුණු 65 ක් රැස් කරගත්තා. නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47 ක් රැස් කළ අතර තරගාවලියේ වීරයා බවට පත් වූයේ සනත් ජයසූරියයි.