කියෙව්වලට රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්
Related Articles
ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා යුක්රේනයේ කියෙව් නගරය ඉලක්ක කර ගනිමින් රුසියාව දැවැන්ත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
නගරයේ මහල් නිවාස සංකීර්ණ රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද රුසියාවේ යුක්රේන ආක්‍රමණය ඇණහිට ඇති බවයි ඇමෙරිකාව සදහන් කරන්නේ. යුක්රේනයෙන් එල්ලවන දැවැන්ත ප්‍රහාර හා රුසියාවේ සැපයුම් දාමය බිදවැටීම මීට හේතුවී ඇති බවද ඇමෙරිකාව පවසනවා.
රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භ කර අදට දින 20 ක් ගතවුවද ඔවුන්ට තවමත් කියෙව් නගරය අත්පත්කර ගැනීමට නොහැකිවී ඇති බවයි ඇමෙරිකා බුද්ධි අංශ පෙන්වා දෙන්නේ. නගරයට වයඹ දෙසින් පිහිටා ඇති හොස්ටොමේල් ගුවන් තොටුපොල ආශ්‍රිත ප්‍රදේශයේ රුසියා හමුදාව සිරව සිටින බවද ඔවුන් සදහන් කරනවා. එමෙන්ම රුසියාවේ සැපයුම්දාම බිදදැමීමට යුක්රේනය සමත්ව සිටින බවයි ඇමෙරිකා බුද්ධි අංශ පවසන්නේ.
ඊයේ රාත්‍රියේ සිට රුසියා හමුදා කියෙව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කල මිසයිල ප්‍රහාරයන්ගෙන් නගරයේ මහල් නිවාස රැසකට හානි සිදුවුණා. පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
උතුරුදිග යුක්රේනයේ රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුනක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ හා අසල පිහිටි පරිපාලන ගොඩනැගිල්ලට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව ද සදහන්.
මේ අතර කියෙව් නගරය ආසන්නයේ පිහිටි කුරිනිව්කා ප්‍රදේශයට මිසයිල ප්‍රහාරයක් එල්ලවන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. එම ප්‍රහාරයෙන් නගරයේ ගුවන් ආරක්ෂණ පද්ධතියට ද හානි සිදුවූ බව නගරාධිපතිවරයා සදහන් කරනවා.
දකුණුදිග යුක්රේනයේ සෆොසීසියා න්‍යෂ්ටික බලාගාරය ඉදිරිපිට රුසියා හමුදාව පුපුරවාහැරීම් කීපයක් සිදුකර ඇති බව යුක්රේනය සදහන් කරනවා. පිපිරීම් වලින් අනතුරුව න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ මට්ටම ඉහළයාම සිදුව ඇතිද යන්න මේ වන තෙක් අනාවරණය වී නැහැ. එමෙන්ම යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙස සැලකෙන චර්නොබොයි න්‍යෂ්ටික බලාගාරයේ පාලන බලය අත්පත්කර ගැනීමට රුසියා හමුදාව ට පසුගිය 4 වනදා හැකියාව ලැබුණා.
මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරියෙකු වන යැං ජිචී හා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබද උපදේශක ජේක් සලවන් අතර විශේෂ සාකච්ඡාවක් ඉතාලියේ රෝමයේ දී පැවැත්වුණා. රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ඇමෙරිකාවට පැහැදිලි කිරීම මෙහිදී සිදුව තිබෙනවා.
යුද ගැටුමකින් තොරව සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය විසදා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් බවයි චීන දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.
යුක්රේන ආර්ථිකය සියයට දහයකින් පමණ කඩාවැටී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා. රුසියාව යුක්රේන ආක්‍රමණය කිරීමත් සමගයි මෙලෙස යුක්රේන ආර්ථිකය කඩා වැටීමට ලක්ව ඇත්තේ. ඉදිරියටත් යුද ගැටුම් පැවතියහොත් තත්ත්වය තවත් බරපතල අතට හැරිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවනවා. එම තත්ත්වය සියයට 25 ත් 30 ත් අතර තරම් ඉහළ අගයක් ගතහැකි බවද සදහන්. යුක්රේනයේ සහන කටයුතු සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 1 දශම 4 ක මූල්‍ය අධාර ලබාදීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළා. එමෙන්ම ලෝක බැංකුවෙන්ද යුක්රේනයට ඇමෙරිකා ඩොලර් බිලියන 3 ක සහන පැකේජයක් පිරිනැමෙනවා.
යුද ගැටුම්වලට මැදිව සිටින මරියුපෝල් නගරයේ වැසියන් පිරිසක් ඉවත්කර ගැනීමට හැකිවූ බව යුක්රේන බලධාරීන් සදහන් කරනවා. රුසියා හමුදාව මේ වනවිට මරියුපෝල් නගරය සම්පූර්ණයෙන්ම වටකර සිටින අතර සති දෙකක පමණ කාලයක් සිට නගරවැසියන් දැඩි අපහසුතාවයට ලක්ව සිටිනවා. කෙසේ වුවද ඊයේ දිනයේ දී ලක්ෂ 4 කට අධික ජනතාවක් වාසය කරන මරියුපෝල් නගරයෙන් පෞද්ගලික මෝටර් රථ 160 ක් පමණ යොදා ගනිමින් නගර වැසියන් රැසක් ඉන් ඉවත්කර ගැනීමට හැකියාව ලැබුණා.
මේ අතර ඊයේ දිනය තුළදී යුද ගැටුම් අධිකව පවතින ප්‍ර දේශවලින් හාරදහසක පමණ සාමාන්‍ය වැසියන් පිරිසක් ඉවත් කරගත් බවයි යුක්රේන උප අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ.
රුසියාවේ රාජ්‍ය නාලිකාවක සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතරතුර යුද ගැටුම්වලට විරෝධය දක්වමින් එහි සේවකයෙකු තම විරෝධය ප්‍රකාශ කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම කාන්තාව නාලිකාවේ සංස්කාරක වරයෙක් ලෙස සේවය කර ඇති අතර ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන්.
සාමසාකච්ඡා සදහා එක්වන ලෙස යුක්රේනයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට මේ වනතෙක් ඉල්ලීමක් සිදුකර නොමැති බව රුසියා ජනාධිපති මන්දිර මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් සදහන් කරනවා. අර්බුදය සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීම අත්‍යවශ්‍යම කාරණයක් නම් ඊට රුසියාවේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි ඔහු පවසන්නේ. දෙරටේ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීම මගින් මෙම ගැටලුව විසදාගත හැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.