fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙළෙඳ ඇමති සහ ඕමාන දූත පිරිසක් අතර හමුවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2022 09:08

වෙළෙඳ ඇමති සහ ඕමාන දූත පිරිසක් අතර හමුවක්

ශ්‍රී ලංකාව හා ඕමාන රාජ්‍ය අතර වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගනිමින්, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ඕමාන දූත පිරිසක් අතර සාකච්ඡාවක් පසුගියදා වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

එහිදී ඕමාන රාජ්‍ය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා දැනට ඇති වෙළෙඳපොල පිළිබඳව සාකච්ඡා කළ අතර, මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ වගකීමෙන් යුක්තව දේශීය නිෂ්පාදන ඕමාන වෙළෙඳපොලට නිකුත් කිරීමට, වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති රජයේ අලෙවි ජාලය හරහා කටයුතු සැලසිය හැකි බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයක් ඕමානයේ ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය ගොඩනැගිලි ලබා ගැනීමට ඇති හැකියාව ද අමාත්‍යවරයා මෙහිදී විමසන ලදී.

මෙරට වෘත්තිකයන් සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලාංකේය කුළුබඩු, රෙදිපිළි ආදී නිෂ්පාදන ඕමාන රාජ්‍යය තුළ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී විමසන ලද අතර, ඒ අනුව මෙරට නිෂ්පාදකයින් හා ඕමාන රාජ්‍යය අතර වැඩිදුර සාකච්ඡා පැවැත්වීම අවශ්‍ය බව ද පෙන්වා දෙන ලදී.

ඒ අනුව අදහස් දැක්වූ ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති රේධා ජුමා අල් සලී මහතා විසින් 30,000ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන් ඕමානයේ ජීවත් වන බවත්, ඕමානය පුරා වෙළෙඳසැල් වෙතින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන අලෙවි කිරීමට නම් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සම්බන්ධයෙන් ඕමාන ජනතාව තවදුරටත් දැනුවත් කිරීම අරමුණු කරගත් ප්‍රදර්ශනයක් මෙම වසරේදී පැවැත්වීම යෝග්‍ය වන බවත් පෙන්වා දෙන ලදී.

එමෙන්ම ඉදිරියේදී ඕමාන රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා ඕමාන වෙළෙඳපොල තුළ වැඩි අවකාශයක් වෙන් කරගැනීමටත් මෙරටට අත්‍යවශ්‍ය වන හා මෙරට නිෂ්පාදන ධාරිතාවයක් නොමැති, ඕමානයේ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ අවම මිල ගණන් යටතේ ලබා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා ඕමාන රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාද් මහතා, ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති ෂෙයික් ජුමා බින් හමදාන් අල්ෂෙහි මහතා, ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති රේධා ජුමා අල් සලී මහතා ඇතුළු දූත පිරිසක් ද, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2022 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්