ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. කහවත්ත මූලික රෝහලේදී බර්ටි ගුණතිලකයන් අභාවප්‍රාප්ත වනවිට 98 වන වියෙහි පසුවුණා.
බැස්ටියන්ගේ දොන් බර්ටි සංඝතිස්ස ගුණතිලක හෙවත් බර්ටි ගුණතිලකයන් උපත ලැබුවේ 1924 අගෝස්තු දෙවනදායි. මහනුවර සංඝරාජ පිරිවෙනෙන් අධ්‍යාපනය හැදෑරූ බර්ටි ගුණතිලකයන් ළමා පිටියෙන් ගුවන් විදුලියට එක්වීමට වරම් හිමිකර ගත්තා. සිය කලාදිවියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විනෝදසමය වැඩසටහනට එක්වීමට පසු කාලයේදී බර්ටිට අවස්ථාව හිමිවුණා. ඇනස්ලි ඩයස් සහ සැමුවෙල් රොද්‍රිගෝ යුගලය සමගින් එක්වන බර්ටි ගුණතිලක මෙරට හාස්‍ය කලාවේ රනින් නම සටහන් කළ ත්‍රිත්වයක් ලෙස ඉතිහාසයට එක්වනවා. රූපවාහිනියේ ආරම්භයත් සමඟ රූපපෙට්ටිය ආක්‍රමණය කරන මේ හාස්‍ය රංගන ශිල්පියා විනෝද සමයට අමතරව නන්දන වින්දන ඇතුළු තවත් වැඩසටහන් කිහිපයකට සිය රංගන දායකත්වය ලබාදුන්නා. ඔහු රංගනයෙන් දායකවූ පළමු චිත්‍රපටය ලෙස 1951 වසරේ රාජා වහබ් කෂ්මීර් අධ්‍යක්ෂණය කළ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටය හදුන්වා දිය හැකියි. පෙම්මල් මාලා , පාලම යට ,දෙවියනි සත්‍ය සුරකින්න , මන මෝහිනී ඇතුළු චිත්‍රපට රැසකටම බර්ටි ගුණතිලකයන් ස්වකීය රංගන දායකත්වය එක්කළා.තම කලා දිවිය තුළ සම්මාන රැසකින් ද පිදුම් ලැබීමට මේ අපූරු කලාකරුවා සමත් වුණා.
දශක 6 කට අධික කාලයක් වේදිකාව , සිනමාව ,ටෙලිනාට්‍ය සහ ගුවන්විදුලිය යන කලා මාධ්‍යයන් තුළින් මෙරට සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ මුවගට සිනහවක් එක්කළ මේ නිහතමානී රංගන ශිල්පියාට වයස් භේදයකින් තොරව නොමද ප්‍රේක්ෂකාදරය හිමිවුණා. රෝගී තත්වයක් හේතුවෙන් කහවත්ත මූලික රෝහල වෙත ඇතුලත් කෙරුණු බර්ටි ගුණතිලකයන් ප්‍රතිකාර ලබමින් සිටියදි මෙලොව හැරගියා.
දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය පියෙකු ද වන මේ සුවිශේෂී කලාකරුවා පිළිබඳව අමතක නැති මතක විශේෂාංගයෙන් ද මුළු රටටම අපි සිහිපත් කළා. බර්ටි ගුණතිලකයන් අවසන් වරට රූපවාහිනී වැඩසටහනක් සමඟ එක්වූයේ ද ස්වාධීන රූපවාහිනියේ අමතක නැති මතක විශේෂාංගය සමඟයි. අභාවප්‍රාප්ත බර්ටි ගුණතිලකයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ. ප්‍රහසන රංග භූමිකාව තුළ නිරායාසයෙන් තම හැකියාව ප්‍රකට කළ මේ විශිෂ්ඨ කලාකරුවාගේ නික්ම යාම මෙරට කලා ක්ෂේත්රයට පිරිමැසිය නොහැකි අඩුවක් ඉතිරි කරනු ඇති.