fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රවී කරුණානායක පොදු දේපල පනතේ චෝදනාවෙනුත් නිදහස්

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2022 18:11

රවී කරුණානායක පොදු දේපල පනතේ චෝදනාවෙනුත් නිදහස්

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව පොදු දේපල පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වා ගෙන යා නොහැකි බැවින් ඔවුන් නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් අද තීරණය කළා.

2016 වසරේ ශ්‍රී ලංකා මහබැංකුව සිදුකළ බැදුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36 කට අධික වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැදුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවටයි මෙම චෝදනා එල්ල වී තිබෙන්නේ.විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන මෙම නඩුව පවත්වා ගෙන යාමට නොහැකි බවට විත්තිය මතුකළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබා දීම සඳහා එය දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න හා මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවා. දමිත් තොටවත්ත හා මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් මෙම බහුතර තීන්දුව ලබාදුන්නා. බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති දමිත් තොටවත්ත සඳහන් කළේ, පොදු දේපල පනතේ 7 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වාභාවික පුද්ගලයන්ට පමණක් බවයි. එහෙත් මෙම නඩුවේ විත්තිකාර පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම ස්වාභාවික පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනාවක් පවත්වා ගෙන යාමට නොහැකි බව විනිසුරුවරයා පැවසුවා. ඒ අනුව එම සමාගමට එල්ල වී ඇති චෝදනාවලට සම්බන්ධ වී පවතින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති චෝදනා පවත්වා ගෙන යාමට නොහැකි බව තීන්දු කෙරුණා. එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික මොහමඩ් ඉර්ෂඩීන් සිය තීරණය ප්‍රකාශයට පත්කරමින් විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා පවත්වා ගෙන යා හැකි බව කියා සිටියා.

තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලක්මිනි ගිරිහාගම ඉල්ලා සිටියේ නඩු තීන්දුව පිළිබඳ අධ්‍යයනය කර පියවර ගැනීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසයි. චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වාදුන් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු එය ඉල්ලා අස්කරගත යුතු බව සඳහන් කළා. නඩු තීන්දුව අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු නඩු විභාගය කල් තැබීම සදාචාරාත්මක නොවන බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා නඩුවේ සෙසු චෝදනාවලට අදාළ විභාගය පැවැත්වීම සඳහා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි මස 4 වනදා කැඳවන ලෙසට නියෝග කළා.  2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහබැංකුව සිදුකළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36 කට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩාගාර බැදුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා නඩුව පවරා තිබුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2022 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්