දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට උපදෙස් දී තිබෙනවා.
නාරහේන්පිට මිල්කෝ කර්මාන්තශාලාවේ නිරීක්ෂණයකට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදී තිබෙන්නේ.
අද පෙරවරුවේ නාරහේන්පිට මිල්කෝ කර්මාන්තශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිතුමා දියර කිරි එක්රැස් කිරීමේ සිට කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලිය පූර්ණ නිරීක්ෂණයට ලක් කළා. 1956 වර්ෂයේ ආරම්භ කළ ජාතික කිරි මණ්ඩලය 1986 දී මිල්කෝ පුද්ගලික සමාගම බවට පත්වුණා. මුලින් පැස්චරීකරණය කරන ලද කිරි නිපදවීමට පමණක් සීමා වූ මෙම ආයතනය මේ වන විට සිය නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කර තිබෙනවා. අඹේවෙල, දිගන, පොළොන්නරුව හා නාරහේන්පිට පිහිටා ඇති කර්මාන්තශාලා 4 ක 1500 කට ආසන්න කාර්ය මණ්ඩලයක් සිටිනවා. ආයතනයේ දෛනික කිරි ධාරිතාව ලීටර් 700000 (හත් ලක්ෂයක්) ක් වන අතර වර්තමාන කිරි එකතුව එක් ලක්ෂ විසි දහසකට සීමා වී තිබෙනවා. කිරි ගොවීන්ගේ සුබ සාධන කටයුතුවලටද මැදිහත් වන බවයි මෙහිදි පාලනාධිකාරිය ජනාධිපතිතුමාට පෙන්වා දුන්නේ. බඩල්ගම ඉදිවන කිරි කර්මාන්තශාලාවේ මෙහෙයුම් ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව ද මෙහිදි මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා ජනාධිපතිතුමාට කියා සිටියා.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ ඇති භාවිතයට නොගත් ඉඩම් වන තෘණ වගාකිරීමටත් අනෙකුත් ප්‍රධාන මධ්‍යස්ථාන සේ නාරහේන්පිට පිහිටි මිල්කෝ කර්මාන්තශාලාව සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසත් මෙහිදි ජනාධිපතිතුමා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට උපදෙස් දුන්නා. දියර කිරි පරිභෝජනයට ජනතාව දිරි ගැන්වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා මෙහිදි පෙන්වා දුන්නා. රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වුණා.