“මාණික්කාවත” : ටෙලිනාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයකට රූපවාහිනී මහ ගෙදර සූදානම්
Related Articles
ජාතික උරුමයේ නාලිකා සන්නාමය ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නවතම ටෙලි සිත්තම මාණික්කාවත ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට සූදානමින් සිටිනවා. ලබන 18 වනදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30 ට මාණික්කාවත ටෙලි නාට්‍යය විකාශය කෙරෙනවා.
සම්මානනනීය ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ මාණික්කාවත කෘතිය රූප සිත්තමක් බවට පරිවර්තනය වන්නේ සම්මානනීය ප්‍රතිභා පූර්ණ අධ්යක්ෂ සුදත් රෝහණයන්ගේ නිර්මාණ අස්සැද්දුමක් ලෙසිනුයි. සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 9.30 ට ලක්හඩ ගුවන් විදුලිය ඔස්සේ ද මෙය විකාශය කෙරෙන්නේ ශ්‍රාවකයන්ට ද නවමු අත්දැකීමක් එක්කරමින්.
මාණික්කාවත ටෙලි නාට්‍යය මාධ්‍ය වෙත හදුන්වාදීම බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී සිදුකෙරුණා. මාණික්කාවත ටෙලි නාට්‍යයේ අධ්යක්ෂ ප්‍රවීණ කලාකරු , ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණයන් සහ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක, අධ්යක්ෂ මණ්ඩල ප්‍රධානී ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි, සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ යන මහත්වරුන් ඇතුලු ඉහළ කලමණාකාරිත්වය ද සම්මානනීය ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පුංචිතිරයේ සාහිත්‍යධරයා විරුධාවලිය ලත් සම්මානනීය සිනමා හා ටෙලිනාට්‍ය අධ්යක්ෂ සුදත් රෝහණයන්ගේ අද්විතීය ප්‍රාසාංගික ටෙලි නළු පෙළහරක වර්තමාන කඩඉම මාණික්කාවත හෙළ සංස්කෘතියේ කඩඉම් සණිටුහන් කෙරෙන විශිෂ්ටතම නිර්මාණයක් වනු නොඅනුමානයි.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ තිර රචනාවක් වන මෙය ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීම්ක ගෙනදෙමින් රූපයට නගා තිබෙන්නේ බලංගොඩ ප්‍රදේශය ආශ්රිත මනරම් දර්ශන තල පසුබිම් කරගෙනයි.
මෙහි නිෂ්පාදනය ෆාහිම් මව්ජුඩ් සිදුකරන අතර කැමරාකරණයෙන් දායක වන්නේ තුසිත අනුරාධයි. ජගත් වීරතුංග සංස්කරණයෙන් ද ප්‍රවීන් ජයරත්න වර්ණ සයෝජනයෙන් ද ඊට දායක වනවා. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනයට නවරත්න ගමගේ ගේ සංගීතයට සමන් ලෙනින් හා නිලක්ෂි හැලපිටියත් / සුනිල් එදිරිසිංහ සහ අභිෂේකා විමලවීර ගායනයෙන් දායක වනවා.
ජගත් චමිල, සරත් කොතලාවල, ඩබ්ලිව් ජයසිරි, ප්‍රියංකර රත්නායක, පාලිත සිල්වා, නිරෝෂන් විජේසිංහ, උමා අසෙනි, වොල්ගා කල්පනී, මයුර පෙරේරා, උදයන්ති කුලතුංග ඇතුළු නළුනිළියන් රැසක් ඊට රංගනයෙන් දායක වනවා.