ලෝක තිරිඟු පිටි මිල ඉහළ ගියේ කොහොමද?
Related Articles
ලොව පුරා තිරිගු පිටි හිගයක් පැවතීමත් සමඟ වාර්තාගත ලෙස මිල ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ලෝක වෙළෙදපොලේ තිරිගු පිටි මිල පසුගිය වසර තුළ 40%කින් ඉහළ ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
ලෝක තිරිගු පිටි මිල ඉහළ යාමට කාලගුණික විපර්යාස ද බලපා තිබෙනවා. ලොව විශාලතම තිරිගු අපනයනකරු ලෙස සැලකෙන රුසියාව බදු පැනවීම ද ඊට හේතුවී තිබෙනවා. ගෝලීය තත්ත්වයන් හමුවේ ආනයනික රටවලින් ඉල්ලුම් ඉහළ යාමද තිරිගු පිටි මිල වැඩිවීමට හේතුවක්. පොහොර මිල ඉහළ යාම සහ බඩඉරිගු ආදේශකයක් ලෙස භාවිත කිරීම ද තිරිගු පිටි ඉහළ යාමට හේතුවී ඇති බවයි විමර්ශකයන් පෙන්වා දෙන්නේ.
එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම ඇස්තමේන්තුවලට අනුව කැනඩාවේ නියගය හේතුවෙන් එහි තිරිගු නිෂ්පාදනය සියයට 40කින් අඩුවී තිබෙනවා. ඇමෙරිකාවෙන්ද දශක දෙකකට පසු අඩුම නිෂ්පාදනය වාර්තා කෙරුණා. වසර 14 කට පසු අවම අගය පසුගිය සැප්තැම්බර් වනවිට වාර්තා වුණා. දැඩි ඉල්ලුමත් සමග රුසියාවේ තිරිගු පිටි මිලද පසුගිය සතියේද අඛණ්ඩව ඉහළ ගියා. එරට වාර්ෂික තිරිගු නිෂ්පාදනය ටොන් මිලියන 11කට ආසන්න ප්‍රමාණයකින් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. උද්ධමනය, කළමනාකරණය සදහා රුසියා රජය තිරිගු අපනයන බද්ධක් හදුන්වාදීමත් සමග එරට තිරිගු නැව්ගත කිරීම් සියයට 34 කින් පහත වැටී තිබෙනවා. අධික වර්ෂාව නිසා ඕස්ට්‍රේලියා තිරිගු අස්වනු නෙලීමද ඇන හිට ඇති අතර කැනඩාවේ ගංවතුර හේතුවෙන් තිරිගු අපනයනයට ද බාධා එල්ලවී තිබෙනවා. ගෑස්මිල ඉහළ යාමත් සමග යූරියා ඇතුළු පොහොර මිලද ඉහළ ගියා. පසුගිය වසරේදී ඩොලර් 300ක් වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් එකක මිල අද වන විට ඩොලර් දහසද ඉක්මවා තිබෙනවා.
මෙම සියලු තත්ත්වයන් ලෝක තිරිගු පිටි මිල ඉහළ යාමට බලපා ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.