පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබදව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි ලබා දීම සදහා ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට වත්මන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාවෙත සිතාසි නිකුත් කර තිබෙනවා.
නඩුව කොළඹ මහාධිකරණයේ දී නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබුවා.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව නිෂ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනුයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ. පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් නඩුවේ 1214 වෙනි සාක්ෂිකරු ලෙස නම්කර සිටින වත්මන් පොලිස්පතිවරයාට සාක්ෂි ලබාදීම සදහා පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත්කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියා. නඩුව අද කැදවනු ලැබූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොෂාන් දෙහිවල මහතා මතුකළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ විදේශ තොරතුරුකරුවෙකුගෙන් පාස්කු ප්‍රහාරය පිළිබද තමන්ට ලැබුණු තොරතුර බුද්ධි තොරතුරක් ලෙස වැඩිදියුණු කර නොතිබූ හෙයින් එය ජනාධිපතිතුමාට දැනුම් දීම නොකළ බවයි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට ද තමා කටයුතු නොකළ බව ඔහු කියා සිටියා.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ද අද යළි විභාගයට ගැනුණා. එම නඩුවට අදාළව ද සාක්ෂි ලබාදුන් නිලන්ත ජයවර්ධන මහතා තමාට ලැබුණු තහවුරු කරගත් තොරතුර අප්‍රේල් 20 වනදා සවස ජනාධිපතිවරයාට දැනුම් දීමට උත්සාහ කළත්, ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව කියා සිටියා. එහෙත් ඒ සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී, ආරක්ෂක ලේකම් පොලිස්පති, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා විශේෂ කාර්යබලකායේ අණදෙන නිලධාරී යන අය අප්‍රේල් මස 20 වනදාම දැනුවත් කළ බව ද නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියා.