කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමෙරිකා සමාගමක් වෙත පැවරීමට සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය අදාළ සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර තිබෙනවා.
අදාළ පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුණ ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබූ අවස්ථාවේදීයි මෙම දැනුම්දීම සිදුකෙරුණේ. ඒ අනුව අදාළ පෙත්සම් ලබන සදුදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්ටීබී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවීමට නියමිතයි.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් නම්කර ඇති අතර ඔවුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියා. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත්කර තිබීම විශේෂත්වයක්. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හදුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශ්වයන් අදාළ පෙත්සම් ඉදිරිපත්කර තිබුණා.