fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපවත් වී වදාළ කුසලධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා නිදහස් චතුරස්‍රයේදී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2021 10:25

අපවත් වී වදාළ කුසලධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා නිදහස් චතුරස්‍රයේදී

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති,  පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන ඉරිදා නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි.

මේ අතර උන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට ජනාධිපතිතුමා හා අගමැතිතුමා උපදෙස්  ලබා දුන්නා. උන් වහන්සේගේ අභාවය වෙනුවෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ශෝක පණිවුඩද නිකුත් කර තිබෙනවා.

ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය,  සාහිත්‍ය විශාරද,  දර්ශන විශාරද,  කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ තවත් ගෞරවනාම රැසකින් පිදුම් ලැබූ යථිවරයානන් වහන්සේ නමක්. බුරුම රාජ්‍යයෙන් ලද අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය ද ඒ අතර වනවා. ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ධුරය හෙබවූ උන්වහන්සේ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය ද හෙබවූවා. සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ශිරෝමනී ගෞරව නාමයෙන් ද පුදලද උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පස්වන පරිවේනාධිපති ස්වාමීන් වහන්සේයි. 1937 පෙබරවාරි 20 වනදා කුරුණෑගල දඹදෙණිය වැලමිටියාව ගමේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩා නමින් උපත ලබා 1954 ජනවාරි 7 වනදා පැවිදි දිවියට පිවිස 1983 විද්‍යාලංකාර පරිවේනාධ්‍යක්ෂ ධුරයට පත් උන්වහන්සේ පරිවේනාධිපති ධුරයට පත්වූයේ 1990 වසරේදීයි.

විචිත්‍ර ධර්ම කථිකයෙකු වූ කුසලධම්ම නාහිමියන් දුප්පත් ගම්මාන නගාසිටුවීමට ද දායකත්වය සැපයූවා. හෙළබසට සහ සාහිත්‍යයට ගරු කළ උන්වහන්සේ මෙරට පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට ද පුරෝගාමී මෙහෙවරක් ඉටුකළා.

ශෝක පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසන්නේ බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් උන් වහන්සේ සම්බුද්ධ ශාසනයට අනූපමේය මෙහෙයක් ඉටු කළ බවයි. තම දේශපාලන ගමන් මගේදී පමණක් නොව පෞද්ගලික ජීවිතයේදී ද නායක ස්වාමීන් වහන්සේ දැඩි මිත්‍රත්වයකින් කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවුඩයේ සදහන්. තමන් වෙත පැමිණි විවිධ බාධක හා ගැටලු අවස්ථාවන්හිදී අත් නොහැර කටයුතු කළ උන් වහන්සේ මහත් ශක්තියක් වූ බවයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සදහන් කරන්නේ.

අපවත්වී වදාළ පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත රැගෙන එනු ලැබුවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2021 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්