fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකේය ක්‍රිකට් පිටියේ වර්ණපුර සළකුණ ජීවිත පිටියට සමු දෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2021 12:12

ශ්‍රී ලාංකේය ක්‍රිකට් පිටියේ වර්ණපුර සළකුණ ජීවිත පිටියට සමු දෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ප්‍රථම නායකයා ලෙස ඉතිහාසයට එක් වූ  බන්දුල වර්ණපුර මහතා අද අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා පසුවුණේ 68 වන වියේයි.මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අංශ රැසකින් ඒ මහතා තම දායකත්වය එක් කළා.

1953  වසරේ මාර්තු පළවෙනිදා උපත ලැබූ බන්දුල වර්ණපුර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 1975 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක් වූ ඔහු ටෙස්ට් තරග හතරකට සහ එක්දින තරග 12 කට ක්‍රීඩා කළා. දකුණත් ආරම්භක පිතිකරුවෙකු මෙන්ම මැදවේග පන්දු යවන්නෙකු ලෙස ඔහු ක්‍රිකට් පිටිය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වූවා. 1979 ලෝක  කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණය ලබා ගත් අවස්ථාවේදී කණ්ඩායම මෙහෙයවනු ලැබුවේද බන්දුල වර්ණපුරයන්.  මෙරට වෙත ටෙස්ට් වරම් හිමිකර ගැනීම වෙනුවෙන් වෙහෙස වූ පිරිස අතර බන්දුල වර්ණපුර නාමය ද  ඉහළම ස්ථානයක තිබෙනවා. ඒ අනුව ටෙස්ට් වරම් හිමිකරගෙන 1982 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ප්‍රථම ටෙස්ට් තරගය ලෙස එංගලන්තයට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔහු නායකත්වය ලබා දුන්නා. එහිදී මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් ලකුණ ලියවුණේ ද ඔහුගේ නාමය ඉදිරියෙන්.

ඔහු සහභාගී වූ සියලුම ටෙස්ට් ක්‍රිකට් තරගවල නායකත්වය ඔහු විසින් දැරීමද විශේෂත්වයක්. පසුව අයි සී සී තරග තීරකවරයෙකු හා විනිසුරුවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කළ අතර ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙසද තම දායකත්වය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලබා දුන්නා. 2001 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙසද ඒ මහතා පත් වූ අතර වසර අටක් එම ධූරයේ කටයුතු කළා.

අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිත බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

බන්දුල වර්ණපුර මහතාගේ අභාවය වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මැතිතුමා සඳහන් කර ඇත්තේ ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවර මෙරට ක්‍රීඩාලෝලීන් තුළ සදාතනික මතකයක් වනු ඇති බවයි. එමෙන්ම තම ශෝකය වර්ණපුර මහතාගේ පවුලේ ඥාතීන් වෙත පළ  කරන බවද එම ට්විටර් පණිවුඩයේ දැක්වෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බන්දුල වර්ණපුර  නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ සැමදා රන් අකුරින් ලියවෙනු ඇති බවයි.  ඒ මහතාගේ අභාවය පිළිබද තම බලවත් සංවේගය ද අග්‍රාමාත්‍යවරයා පළ කර තිබෙනවා.

ක්‍රිකට් පිටිය වර්ණවත් කළ වර්ණපුර ඔබ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2021 12:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්