මව්බිමට මහත් අභිමානයක් ගෙනදුන් යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා අති සාර්ථක ප්‍රසංග කිහිපයකින් අනතුරුව ඉන්දියාවේ සිට ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
මැණිකේ මගේ හිතේ කියමින් ශ්‍රී ලාංකික අපේ සිත්වල පමණක් නොවෙයි ලෝකයේම සිත් තුළ ලැගුම්ගත් ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා මව්බිමට පැමිණියේ හරසර මධ්‍යයේයි.
ලොව පුරා ජනප්‍රිය වී සිටින යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගේ මැණිකේ මගේ හිතේ ප්රතිනිර්මාණ ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය නැරඹුම් වාර කෝටි පහලව ඉක්මවා තිබෙනවා. පසුගිය මැයි විසි දෙවනදා යූ ටියුබ් මාධ්‍ය ජාලයට මුදා හැර තිබූ මෙම ගීතය ලොව පුරා ජනතාව වැළද ගත්තේ ඒ අයුරිනුයි. ඇය ලැබූ ජනප්‍රියත්වයත් සමග ඉන්දියාවේ ප්‍රසංග දෙකක් පැවැත්වීමට මෙන්ම හින්දි චිත්‍රපට පසුබිම් ගායනයට එක් වීමට ද ඇයට අවස්ථාව හිමි වුණා. එසේම ඉන්දිය රූපවාහිනි චැනල කිහිපයක් සමගම සම්මුඛ සාකච්ඡාවලට ද එක් වුණා. විශේෂයෙන් සුපිරි නළු සල්මන්ඛාන් සමග බිග්බොස් වැඩසටහනේ දී ගීතයක් ගායනා කිරීම ද සුවිශේෂි අවස්ථාවක්.
මව්බිම ලෝකයට ගෙන ගිය යොහානි ඊයේ රාත්‍රී 11.25 ට පමණ මුම්බායි සිට දිවයිනට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් යානයකිනුයි. කටුනායක ගුවන් තොටුපොලේදී ඇය හරසරින් පිළිගැනීමට විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් වලට අනුවයි.
කටුනායක ගුවන් තොටුපොලේ දී ඇයට විශේෂ ආරක්ෂාවක්ද සලසා තිබුණා. යොහානි ද සිල්වා ගායිකාව විශේෂ රිය පෙරහැරකිනුයි කොළඹ බලා කැදවා ගෙන එනු ලැබුවේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ccjSMwqNauQ”]