පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
පළාත් සභා වසර තුනකට අධික කාලයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් රට තුළ ගැටළු රැසක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කාරක සභාවේ දී පෙන්වා දුන්නා. එක් අයෙකු පළාත් සභාව පාලනය කිරීම සාධාරණ නොවන බවයි මෙහිදී ප්‍රකාශ වුණේ. පළාත් පාලන ආයතන සහ පාර්ලිමේන්තුව මේ වනවිට සක්‍රීයව පවතිනවා. අක්‍රීයව පවතින්නේ පළාත් සභා පමණක් බැවින් මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ක්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. පැරණි ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේ ලබන වසරේ ජනවාරි මාසයේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සුදුසු බවයි.
එම සංශෝධනවලදී සාධාරණ කාන්තා නියෝජනයක් ලැබෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා වුණා. රටට යෝග්‍ය වන්නේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් බවට බොහෝ දෙනාගේ මතය බවයි දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ. කාරක සභාවේ දී සාක්ෂි ලබා දුන් බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් ද එම මතයේ සිටින බව මෙහිදී අවධාරණය කෙරුණා. මැතිවරණ හා ඡන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණයට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීමේ විද්වත් කමිටුවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා ඉදිරිපත් කළා. කමිටුව වෙනුවෙන් එහි සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතනවල දැනට පවතින මන්ත්‍රීධුර සංඛ්‍යාව අඩු කළ යුතුය යන්න පොදු මතය බවයි.