ගුරු විදුහල්පති වැටුප් ගැටලුව තවමත් අවසානයක් දැක නැහැ. නිවෙස්වලට කොටුවෙලා සිටින දරුවන්ගේ අධ්‍යාපනයත් ඉතාම අඩාල වී තිබෙනවා. මේ දරුවන්ට ආයෙමත් ඔන්ලයිනයෙන් හරි ඉගෙන ගන්න අවස්ථාවක් කවදා ලැබේවිද කියලා අනාවැකි කීමට හැකියාවක් නෑ.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ආරම්භ වන්නේ 1994 අවුරුද්දේදී. එතෙක් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 37/ 92 යටතේ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට වැටුප් ගෙවීම් කළා. නමුත් 1994 වසරේදී ගෙන ආ 865, 3 දරණ ශ්‍රීලංකා ගුරුසේවා ව්‍යවස්ථාව හේතුවෙන් රාජ්‍ය පරිපාලනයේ අනෙකුත් සමාන්තර ශ්‍රේණි මෙන්ම උපාධි ගුරු හා විදුහල්පති, පුහුණු ගුරුවරුන් අතර වැටුප් විෂමතාවක් හට ගත්තා.
1997 වසරේදී 2,97 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ක්‍රියාත්මක කරමින් රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් සිදු කළා. එමගින් විදුහල්පති හා ගුරු වැටුප් වැඩිවීමක් සිදු වූයේ නැහැ. ඔවුන්ගේ වැටුප් වැඩිවීම පසුව සළකා බලන බව දක්වමින් තවත් චක්‍රලේඛයක් නිකුත් කෙරුණා.
කෙසේ වුවද 1994 වසරේ ආරම්භ වූ වැටුප් විෂමතා ගැටලුව මේ වනතෙක් පවතිනවා. ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරන බවට එකගත්වය පළවූයේ 1996 වසරේදී. එම සංශෝධන ඇතුළත් ව්‍යවස්ථාව ඊට පසු වර්ෂයේදී එළිදැක්වුනා. මෙම සංශෝධනයට අනුව ගුරුවරුන් අන්තර්ග්‍රහණය කිරීමටත් පෙර 1997 වසරේ ජනවාරි පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි බී සී පෙරේරා වැටුප් සංශෝධනය කරමින් 2,97 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කෙරුණා.
රාජ්‍ය සේවයේ මෙම වැටුප් සංශෝධන හේතුවෙන් යළිත් වරක් ගුරු විදුහල්පති හා රාජ්‍ය සේවයේ අනෙකුත් සමාන්තර ශ්‍රේණි අතර වැටුප් විෂමතාවක් ඇති වුණා. මෙම ගැටලුව විසදීමට වත්මන් රජය සාකච්ඡා කරමින් සිටියදී කොරෝනා වසංගතය රටම වෙළා ගත්තා. එහිදී දරුවන්ට වන හානිය අවම කිරිම සදහා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කෙරුණා. කෙසේ වුවද පසුව ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වූ ගුරු සංගම් ප්‍රකාශ කළේ තමන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසදනතෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
විරෝධතා පෙළපාලි ආදියද පැවැත්වුණේ එහි තවත් පියවරක් ලෙසටයි. ගැටලුවට විසදුම් සෙවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැබිනට් අනුකමිටුවක් පත් කෙරුණා. එම අනුකමිටුවේ යෝජනා අධ්‍යාපන, මුදල් ආදි අමාත්‍යවරුන්ට මෙන්ම කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කැබිනට් මණ්ඩලය අදාළ යෝජනා පියවරෙන් පියවර ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන්නා.
අනුකමිටුවේ යෝජනා 11 ක් මෙසේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව තුන්වන ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ගේ වැටුප් සියයට දහනවයයි දශම පහයි හතරකින් ද දෙවන ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ගේ වැටුප් සියයට විසිඑකයි දශම පහයි නවයකින්ද පළමුවන ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ගේ වැටුප සියයට විසිපහයි දශම නවයයි පහකින්ද වැඩිකිරීමට නියමිතයි.
එමෙන්ම ගුරු සේවයේ තුන දෙක ශ්‍රේණියේ වැටුප සියයට දහතුනයි දශම පහයි දෙකකින්ද තුන එක සී ශ්‍රේණියේ වැටුප සියයට පහළොවයි දශම හයයි හතරකින්ද වැඩිවනු ඇති. ගුරු සේවයේ තුන එක බී ශ්‍රේණියේ වැටුප සියයට දහඅටයි දශම හතරයි අටකින් හා තුන එක ඒ ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ වැටුප සියයට විස්සයි දශම හතරයි තුනකින් වැඩි වීමට නියමිතයි. රටේ පවත්නා ආර්ථික තත්ත්වය සළකිල්ලට ගනිමින් ක්‍රමානුකූලව මෙම වැටුප් වැඩිකිරීම සිදුකිරිමටයි රජය තීරණය කළේ.
පළාත් අධ්‍යාපන බලධාරීන් සමග එක්ව මාස හයක් තුළ අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස රජය අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කළා. එම නිර්දේශ අතර අධ්‍යාපන පීඨ දහඅටම විශ්වවිද්‍යාල බවට පත් කිරීමට නියමිතයි. ගුරු සේවාව, ගරු උපදේශක සේවාව සහ විදුහල්පති සේවාව සංවෘත සේවාවක් වශයෙන් මෙම වසරේ නොවැම්බර් 20 වන දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.
එමෙන්ම ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම සදහා ගුරුවරුන්ට අවශ්‍යය තාක්ෂණික උපකරණ ලබාදීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. මෙම තීන්දු ප්‍රකාශයට පත්කරමින් කැබිනට් අනු කමිටු සාමාජිකයන් ඉල්ලා සිටින්නේ රටේ අනාගත බලාපොරොත්තුව වන දරුවන් අධ්‍යාපනයෙන් පොහොසත් කිරීමට ගුරු විදුහල්පතිවරුන් යළිත් එක්වන ලෙසටයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/utJbM-sd9C8″]