පාපන්දු සම්මේලනයේ අවසන් වරට පැවැති නිලවරණය පැවැත්වීම වෙනුවෙන් නිලවරණ කමිටු සභාපතිට රු 750,000 ක මුදලක් ද අනෙකුත් සාමාජිකයන් දෙදෙනාට රු. 600,000 බැගින්ද ලබා දීමට අනුමත කිරීම සම්බන්ධව ඊයේ(03) පැවැති කෝප් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.
2021 වසරේ අප්‍රේල් මස 22 වැනිදා කෝප් කාරක සභාව රැස්වෙන විට මෙම මුදල් ගෙවූ බව කිසිදු නිලධාරියෙකු ප්‍රකාශ නොකළ අතර, අප්‍රේල් මස 20 වැනි දින එම මුදල් ගෙවා ඇති බව දැන් පැවසීම සැක සහිත බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා එහිදී පැවසීය.
ඒ පිළිබඳව සොයා බලා පවතින ක්‍රමවේදය ක්‍රමවත් කිරීමට පියවර ගන්නා ලෙස කෝප් කාරක සභාව නිර්දේශයක් ද නිකුත් කර ඇති බව හෙතෙම මෙහිදී සිහිපත් කළේය. මේ සම්බන්ධව අභ්‍යන්තර වශයෙන් විමර්ශනයක් සිදුකර සති 02 ක් ඇතුළත කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.
කළුතර පාපන්දු ක්‍රීඩාංගනය ඉදිකිරීම සදහා ඉතාලි පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමය මගින් පරිත්‍යාග කළ යූරෝ40,400ක්ද(රු.6,287,670), ආසියානු පාපන්දු සම්මේලනය මගින් තරඟ පැවැත්වීමට ලබා දුන් ඩොලර් 60,000ක්ද(රු.6,415,290),පෞද්ගලික සමාගමක් මගින් සුනාමියෙන් විපතට පත් අයට නිවාස 20ක් ඉදිකිරීම සදහා ලබා දුන් රු මිලියන 10ක මුදලක්ද, ආසියානු පාපන්දු සම්මේලනය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක්ද පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා විසින් අවභාවිත කරනු ලැබීම පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානය යොමුවිය.
ජාතික විගණන කාර්යාලයේ විමර්ශනය මඟින් අනාවරණය කර ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් අහ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් කෝප් කාරක සභාවට දැනුම් දෙන ලෙසද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.